හමීඩියා සිය කාන්තා කාර්ය මණ්ඩලයේ සුභසිද්ධිය වෙනුවෙන් විශේෂිත අධ්‍යාපනික සැසි මාලාවක් පවත්වයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය,  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිය කාන්තා කාර්ය මණ්ඩල සඳහා විශේෂිත අධ්‍යාපනික සැසි මාලාවක් සහ තවත් විශේෂාංග රැසකින් සමන්විත වූ කාන්තා දින සැමරුම් උත්සවයක් රත්මලාන ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම ප්‍රධාන උත්සවයට අමතරව මාර්තු මාස පුරාවටම විශේෂිත අධ්‍යාපනික සැසි පැවැත්වූ අතර මෙම සැසි මාලාවේ අරමුණ වන්නේ හමීඩියා ආයතනයේ කාන්තා ශ්‍රම බලකාය වෙත සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව, රූපලාවන්‍ය, කාන්තා අයිතිවාසිකම්, ලිංගික හිංසනය සහ අන්තර්ජාල ආරක්ෂණය ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් නිසි දැනුවත් භාවයක් ලබා දීමයි.

හමීඩියා ආයතනයේ සේවිකාවන් 400ක් පමණ සහභාගී වූ මෙම උත්සවයේදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ කාන්තාවන් කීපදෙනකු විසින් දේශන මාලාවක් පවත්වන ලදී- ශ්‍රී ලාංකීය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන රමණි ප්‍රනාන්දු මහත්මිය පෞරුෂත්ව වර්ධනය පිළිබඳ විශේෂ සැසියක් පවත්වන ලද අතර යෙහෙළිය පදනමේ නීතිඥ නෞෂල්‍යා රාජපක්ෂ මහත්මිය කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව හමීඩියා ආයතනයේ කාන්තා කාර්ය මණ්ඩලය දැනුවත් කළාය. මීට අමතරව, ඉන්දිරා පිළිකා භාර පදනමේ භාරකාර නීතීඥ යෙනුකා ප්‍රේමරත්න මහත්මිය විසින් පුද්ගලික සනීපාරක්ෂාව සහ සෞඛ්‍යයේ වැදගත්කම, පියයුරු පිළිකා අවදානම පිළිබඳ නවතම තොරතුරු සහ මෙම රෝගයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සැසියක් පවත්වන ලදී. උත්සවය අවසානයේ සහභාගි වූ සියලුම දෙනාටම තිළිණ ප්‍රදානය කෙරිණි.

හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා මෙසේ සිය අදහස් දැක්වමින් ප්‍රකාශ කළේ, “කාන්තාවන් අපගේ ජීවිතයේ සෑම අංශයකම කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනවා. අපගේ ආයතනය තුළ අප කාන්තා පුරුෂ භේදයකින් තොරව සෑම කෙනෙකුටම සම අයිතීන් සහ අවස්ථාවන් ලබා දෙන ආයතනික සංස්කෘතියක් ගොඩනඟා තිබෙනවා. මේ වන විට අපගේ කාර්ය මණ්ඩලයේ 400කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වීම ගැන අපි ආඩම්බර වනවා. එමෙන්ම මෙවන් අධ්‍යාපනික වැඩසටහන් හරහා විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඔවුන්ව නිරන්තරයෙන් දැනුවත් කිරීමට අප උත්සහ කරනවා. අප විසින් අපගේ කාන්තා ඇඟලුම් සන්නාමය වන Roseavelt හරහා කාන්තා පාරිභෝගිකයින් වෙනුවෙන් උසස් තත්ත්වයේ ඇඟලුම් නිර්මාණය කර තිබෙනවා.”

1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් පිරිමි ඇඟලුම් සන්නාම එකතුවට Envoy London, Le Bond, Signature, Roseavelt, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.


Share with your friend