2023 ලෝක ළමා දිනය නිමිත්තෙන් විෂන් කෙයා වෙතින් දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක්

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, 2023 ලෝක ළමා දිනයට සමඟාමීව “පාට සිත්තම්” නමින් දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියක් සංවිධානය කර තිබේ. මේ සඳහා සෑම වයස් කාණ්ඩයකම පාසල් සිසු සිසුවියන්ට සහභාගී විය හැකි අතර වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග 100 කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට අවස්ථාව උදාවෙයි.

‘මගේ දෑසින් හෙට ලොව‘ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලිය මූලික ප්‍රාථමික (1,2,3 ශ්‍රේණි), මූලික ද්විතීයික (4,5,6 ශ්‍රේණි), කණිෂ්ඨ (7,8,9 ශ්‍රේණි), ජේෂ්ඨ (10, 11 ශ්‍රේණි), ජේෂ්ඨ ද්විතීයීක (12, 13 ශ්‍රේණි) යන වයස් කාණ්ඩ පහක් යටතේ පැවැත්වේ. අවසන් වටයෙන් තේරී පත් වන ජයග්‍රාහක ජයග්‍රහිකාවන් සඳහා මුදල් ත්‍යාග, වටිනා ත්‍යාග සහ සහතික පත් ලබාදෙන අතර විශිෂ්ට සම්මාන, සම්මාන සහ කුසලතා  යන කාණ්ඩ සඳහා ද වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.

දැයේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සුවිශේෂී ලෝක ළමා දින චිත්‍ර තරඟාවලිය දරුවන්ට තම නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනය කිරීමටත්, ලෝකයේ අනාගතය පිළිබඳ ඔවුන්ගේ අදහස්, කලා මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමටත් කදිම වේදිකාවක් සපයයි.

මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන දරුවන්ට අඟල් 18×14 ප්‍රමාණයේ කඩදාසි, බෝඩ්, කැන්වස් හෝ ඕනෑම මතුපිටක (තිරස් හෝ හරස් අතට) දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ආදී ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිතා කරමින් සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. සියලුම නිර්මාණ පාසලේ විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමා හෝ විෂය භාර ගුරුතුමා විසින් සහතික කළ යුතු අතර 2023 සැප්තැම්බර් 20 වැනි දින හෝ ඊට පෙර, දිවයිනේ පිහිටි ඕනෑම විෂන් කෙයා ශාඛාවකට පැමිණ අයදුම්පත පුරවා නිර්මාණ භාර දිය හැකිය. අවසන් තරඟය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ.

වසර 30ක් පුරාවට සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබා දෙමින් ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරන විෂන් කෙයා ආයතනය ළමා අක්ෂි සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන ආයතනයකි. මෙම චිත්‍ර තරඟාවලිය හරහා දරුවන් හා දෙමාපියන් වෙත වඩාත් සමීප වෙමින් කුඩා කල සිටම දරුවන්ගේ ඇස් පෙනීම ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විෂන් කෙයා ආයතනය උත්සාහ කරයි. මෙම චිත්‍ර තරඟාවලියට සහභාගී වීමට තම දරුවන් දිරිමත් කරමින් ඔවුන්ට සහාය දක්වන ලෙස විෂන් කෙයා ආයතනය දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන් ගෙන් ඉල්ලා සිටියි.

විෂන් කෙයා “පාට සිත්තම්” චිත්‍ර තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://visioncare.lk වෙත පිවිසෙන්න.


Share with your friend