Bureau Veritas, පරිසර ආරක්ෂණයට දායකවන හොඳම පෞද්ගලික ආයතනය උදෙසා පිදෙන රිදී සම්මානය දිනයි

Share with your friend

රසායනාගාර පර්යේෂණ, පරීක්ෂණ සහ සහතිකකරණ සේවා පිළිබඳ ප්‍රකට ගෝලීය සමාගමක් වන බියුරෝ වෙරිටාස් (Bureau Veritas) සමූහයට අනුබද්ධිත බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා (Bureau Veritas Consumer Products Services Lanka) පුද්ගලික සමාගම, පසුගියදා පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘පරිසරයට සිය දායකත්වය ලබාදෙන හොඳම පෞද්ගලික ආයතනය‘ සඳහා වූ රිදී සම්මානය හිමිකරගැනීමට සමත්විය. එය බියුරෝ වෙරිටාස්හි පරිසර හිතකාමීබව මෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් සිය පාරිභෝගික ආයතන වෙත ඔවුන්ගේ තිරසර වැඩසටහන් සාර්ථක කරගැනීමට බියුරෝ වෙරිටාස් මගින් ලබාදෙන දායකත්වයට ලද ඇගයීමකි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 

තම පාරිභෝගික සමාගම්වල වත්කම්, නිෂ්පාදන, යටිතල පහසුකම් සහ නිෂ්පාදන ක්‍රියාවලි ආදියේ ගුණාත්මකබව, සෞඛ්‍යාරක්ෂිතබව, පරිසර හිතකාමීබව සහ සමාජ වගකීම තහවුරු කිරීමට බියුරෝ වෙරිටාස් සමාගමෙන් ලැබෙන දායකත්වයට ලද සහතිකයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක. 

″මෙම සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ පාරිභෝගික ආයතනවල තිරසර ඉලක්ක ජයගැනීම වෙනුවෙන් ඔවුන්ට දායක වීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විශාල ඉදිරි ඉලක්ක ප්‍රමාණයක් ද අප සමාගම සතුයි. එවන් පසුබිමක හිමිවුණු මෙම සම්මානය තිරසරභාවය සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් අපගේ නායකත්ව භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු සපයනවා″, යනුවෙන් බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී හර්ෂ වනසිංහ මහතා ප්‍රකාශ කළේය. 

සම්මානය ලබාගැනීමේ අවස්ථාවට බියුරෝ වෙරිටාස් නියෝජනය කරමින් සමාගමේ මූල්‍ය පාලක සෙල්ලයියා විග්නේශ්වරන්, සෞඛ්‍ය/ආරක්ෂණ/ ආරක්ෂණ/ පරිසර සහ තිරසර නායකත්ව අංශ ප්‍රධානී බුද්ධික ජයතිලක, ව්‍යාපාර සංවර්ධන සහකාර කළමනාකාරිණී (ආහාර සහ කෘෂිකර්ම) සයුරි ගංගානි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 

පළමු වරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙල සඳහා නිෂ්පාදන ආයතන, මාධ්‍ය සහ සමාජ සංවිධාන වැනි විවිධ අංශ නියෝජනය කරන ආයතන අයදුම්කර තිබුණු අතර, බියුරෝ වෙරිටාස් සමාගමට හිමිවූ සම්මානයට අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී බුද්ධික ජයතිලක මහතා ලබාදුන් දායකත්වය  සුවිශේෂී වේ. 

ඉහළ නිපුණතාවයකින් හෙබි 275කට වැඩි කාර්යමණ්ඩලයකින් සමන්විත බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා යනු පුළුල් ප්‍රතීතන සේවාවක් ලබාදෙන සමාගමකි. අනුකූලතා, ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය දක්වා පවතින අවදානම් හඳුනාගැනීම සහ පාලනය, සැපයුම් දාම කළමනාකරණය ඉහළ නැංවීම සහ ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශය සැපයීම ආදී විවිධ අංශ ආශ්‍රිතව ස්වාධීන සහ තෙවැනි පාර්ශ්වීය සහතිකකරණ සේවාවක් සමාගම ලබාදෙයි. එහි පුළුල් සේවාවන් අතරට, ඇඟලුම් පරීක්ෂණ,  ඇගයුම් සහ සමාජ අනුකූලතා විගණන සේවා, ආහාර සහ කෘෂි පරීක්ෂණ, පාරිසරික ඇගයුම්, සෙල්ලම් භාණ්ඩ සහ වෙනත් දෘඪාංග ද්‍රව්‍ය පරීක්ෂණ, ක්‍රමාංකන සේවා, ජෛවහායන පරීක්ෂණ සහ ඇස්බැස්ටෝස් ඇගයුම් ආදිය  ඇතුළත් වේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply