CDB සමාගම කුරුණෑගල ප්‍රදේශයේ අති-නවීන ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරයි

Share with your friend

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) තම ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම පූර්ණ අයිතිය යටතේ පවතින ප්‍රාදේශීය කාර්යාලයක් පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී විවෘත කළේ ය. ව්‍යාපාර ලෝකයේ නවතම ප්‍රවණතා අනුව, ඩිජිටල් තාක්ෂණය සහ තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායික දැක්මක් ඔස්සේ, වඩාත් විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම කාර්යාලය පිහිටුවා තිබේ. 

CDB කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය

නවීන ගෘහ නිර්මාණ සැලසුමකට අනුව ඉදිකර ඇති මෙම ප්‍රාදේශීය කාර්යාලය, පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් රැසකින්ද සමන්විත ය. මෙය CDB සමාගමේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන සාමාජික සාමාජිකාවන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. 

A group of people posing for a photoDescription automatically generated with medium confidence
පාරිභෝගික සත්කාර විශිෂ්ටත්වය සංකේතවත් කරමින් CDB කණ්ඩායම CDB කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කරන අවස්ථාව

මිනිස් ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගෙන, උපරිම ඵලදායීතාවක් අත්කරගත හැකි ආකාරයට මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ. අවකාශය අතිශය කාර්යක්ෂම ලෙස භාවිතා කරමින්, ස්වභාවික ආලෝකය හැකි උපරිමයෙන් ලැබෙන ආකාරයට සහ මනස සන්සුන් කරවන වර්ණවලින් යුතුව එහි අභ්‍යන්තරය සැලසුම් කර ඇත. මෙහි මනා ඉඩපහසුවක් සහිතව ඉදිකර ඇති විවෘත අවකාශයන් තුළ හරිත පැහැයට මුල්තැනක් ලබාදී ඇති අතර, එය මෙහි සේවය කරන කාර්ය මණ්ඩලයට සහ සේවාවන් ලබාගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ටද සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. තවද, තදබදයකින් තොරව වාහන නැවැත්විය හැකි ආකාරයට, පුළුල් ඉඩකඩක් සහිතව මෙහි රථගාල ඉදිකර තිබේ. මීට අමතරව, විකල්ප බලශක්ති ප්‍රභවයන් උපයෝගී කරගනිමින් ගොඩනගා ඇති බලශක්ති ඉතිරිකිරීමේ ආකෘතියට CDB තවත් සුර්ය බලශක්ති පද්ධතියක් එක් කිරීමට නියමිතය.

CDB සමාගම යනු පරිසරයට ඇතිවන බලපෑම් අවම කරමින් සමාජයට යහපතක් සිදුකිරීම ඉලක්ක කරගත් සමාගමකි. එමෙන්ම නවීන තාක්ෂණය භාවිතා කරන අතරම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම CDB සමාගමේ අරමුණ වන අතර, කුරුණෑගල නව ප්‍රාදේශීය කාර්යාලය මෙම සාරධර්ම මැනවින් නිරූපණය කරයි. එහි වැසි ජලය එක්රැස් කිරීමේ ක්‍රමවේදය සහ විශේෂ ජල සැපයුම් පද්ධතිය මගින් පරිශ්‍රයේ ඇති ගස්වැල්වලට ජලය සැපයෙන අතර වාෂ්පීකරණය ඔස්සේ පරිශ්‍රය සිසිල් කිරීමද සිදුකරයි. ස්වභාවික ආලෝකය කාර්යක්ෂම ලෙස භාවිතා කරන අතරම තාපය විනිවිද යාම අවම කිරීම සඳහා එහි හරිත තිරද යොදා තිබේ. 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් හතරෙන් එකක් ලෙස, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉදිරිගාමී හා තිරසාර ලෙස පවත්වාගෙන යාම සඳහා පෙරමුණ ගැනීමේ වැදගත්කම CDB සමාගම හොඳින් හඳුනයි. සම්මාන රැසකින් පිදුම් ලබා ඇති CDB සමාගම තම වසර 27 ක ඉතිහාසය තුළ කිසිදු භේදයකින් තොරව රටේ සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇති අතර, ඒ ඔස්සේ රටේ දියුණුව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකර තිබේ. කුරුණෑගලදී විවෘත කළ නව ප්‍රාදේශීය කාර්යාලය, මෙම මෙහෙවර තුළ තබන ලද තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක. 


Share with your friend