Daraz Donates සමග එක්ව Animal SOS Sri Lanka සත්ත්ව සුබසාධන අරමුදලට දායකවන්න

Share with your friend

Daraz ඇප් එක හා වෙබ් අඩවිය ඔස්සේ ක‍්‍රියාත්මක Daraz Donates බහුවිධ සමාජ සත්කාරක ආධාර පිරිනැමීමේ වැඩසටහන සමග Animal SOS Sri Lanka සත්ත්ව සුබසාධන සංවිධානය පසුගියදා එක්විය. Daraz Donates සමග එක්වූ පළමු සත්ත්ව සුබසාධන සංවිධානය ලෙස Animal SOS Sri Lanka සංවිධානය කැපී පෙනෙයි. 2022 අගෝස්තු මාසයේ සිට ක‍්‍රියාත්මක Daraz Donates වැඩසටහන හරහා දැන් Animal SOS Sri Lanka ද ඇතුළුව ශ්‍රී ලංකාවේ විවිධ සමාජ ස්ථරයන්ගේ කාලීන අවශ්‍යතා හා ගැටළු සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කරනු ලබන සමාජ සත්කාරක සංවිධාන 7 ක් වෙත ආධාර පරිත්‍යාග සිදු කළ හැකිය.

Animal SOS Sri Lanka නිර්මාතෘ කිම් කූලින් Daraz Donates සමග ඇතිකරගත් සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින් “Animal SOS Sri Lanka අප ශක්තිමත් කරමින් අත්වැල් බැඳගත් Daraz Donates කණ්ඩායමට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. Animal SOS Sri Lanka ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ‍්‍රිත පරිසර පද්ධති සහ සත්ත්ව ප‍්‍රජාව සුරක්ෂිත කිරීමෙහිලා ක‍්‍රියාකාරී විශාලතම සංවිධානයක්. සුවහසක් සත්ත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන්නට වෙහෙසෙන අපි වසරේ දින 365 තිස්සේ රෝගී වූ, අනතුරුවලට ලක්වූ වීදි සුනඛයන් හා බළලූන් විශාල සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබාදීම සිදු කරනවා. අප සමග අත්වැල් බැඳගන්නා සෑම ආයතනයක්ම ශ‍්‍රි ලංකාවේ ජීවත්වන සුවහසක් සත්ත්ව ජීවිත සුරක්ෂිත කිරීමේ කොටස්කරුවන් බවට පත්වෙනවා, ජීවිත දානය තරම් වටිනා තවත් උතුම් සද් ක‍්‍රියාවක් මේ මිහිපිට නැහැ.” යැයි පැවසීය.

Daraz ආයතනික සමාජ සත්කාරක වැඩසටහන වන Daraz Cares හරහා උපකාර අවැසි සමාජ ස්ථරයන් සඳහා ආධාර පරිත්‍යාග, ප‍්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සහ ස්වෙච්ඡා ක‍්‍රියාකාරී වැඩසටහන් රැසක් දකුණු ආසියානු කලාපය පුරා ක‍්‍රියාත්මක කරනු ලබයි. Daraz Cares සමාජ සත්කාරක වැඩසටහනේ තවත් එක් මෙහෙවරක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා පාරිසරික සුබසාධනය වෙනුවෙන් ක‍්‍රියාකාරී වූ විශ්වාසනීය සංවිධාන හා ආයතන විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන් සඳහා ආධාර පරිත්‍යාග සිදුකිරීමට Daraz Donates ඔස්සේ පහසුකම් සලසා ඇත. 2022 අගෝස්තු මස ආරම්භ වූ Daraz Donates ශ්‍රී ලාංකිකයන් අතර සීඝ‍්‍ර ජනප‍්‍රසාදයකට හිමිකම් කියමින් වර්ෂ අවසානයේදී ඇමරිකානු ඩොලර් 1000 කට නොඅඩු අරමුදලක් එක් රැස් කිරීමට සමත්ව ඇත.

Daraz Donates වෙත පරිත්‍යාග සිදුකළ ඉන්දුජා ජෙයනාතන් මහත්මිය අදහස් දක්වමින් “ Daraz Donates හරහා මුදල් පරිත්‍යාග කිරීම ඉතාම සරල වගේම පහසු කටයුත්තක්. Daraz Donates තුළ මා දකින සුවිශේෂත්වය වන්නේ විවිධාකාර සමාජ අවශ්‍යතාවයන්ට එකම තැනකින් ආධාර පරිත්‍යාග කිරීමේ හැකියාව ලබාදීමයි. Daraz අපේ රටේ නමක් දිනාගත්ත විශ්වාසවන්ත ආයතනයක්, ඒ නිසාම මට විශ්වාසයෙන් මගේ පරිත්‍යාග Daraz Donates හරහා රටේ යහපතට යොදවන්න පුළුවන්.” යැයි පැවසීය.

Daraz Sri Lanka ආයතනික සබඳතා, මහජන ප‍්‍රතිපත්ති, පාරිසරික හා සාමාජීය කටයුතු පිළිබඳ ප‍්‍රධානී            අනිශ්කා ද සිල්වා මහත්මිය අදහස් දක්වමින් “අපේ රටේ සුබසාධන කටයුතුවල නියැලී සිටින දේශීය හා ජාත්‍යන්තර සමාජ සත්කාරක ආයතනයන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා පහසුකම් සැපයීමේ නිර්මාණශීලී විසඳුමක් ලෙස Daraz Donates අප ඉදිරිපත්කොට තිබෙනවා. Daraz Donates හි අන්තර්ගත සරල මෙන්ම කාර්යක්ෂම ක‍්‍රමවේදය ඔස්සේ ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් අරමුදල් රැස්කරගත හැකිය. Daraz ඇප් එකට දිනපතා සම්බන්ධවෙන සුවහසක් පාරිභෝගිකයන්ගේ ආධාර පරිත්‍යාගයන් විශ්වාසනීය සමාජ සුබසාධන වැඩසටහන් වෙත යොමුකිරීමේ ජාතික මෙහෙවරට Daraz Donates දායක වෙනවා.” යැයි පැවසීය.

Child Action Lanka, Habitat for Humanity Sri Lanka, LEADS Sri Lanka, සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය, The Sunshine Charity, ශ්‍රී ලංකා SOS ළමා ගම්මානය සහ Animal SOS Sri Lanka යන Daraz Donates සමග ලියාපදිංචි වූ ස්වෙච්ඡා සමාජ සුබසාධන සංවිධාන විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක කටයුතු පිළිබඳ වැඩිදුර දැනුවත් වෙමින් ආධාර උපකාර අවැසි විවිධ ශ්‍රී ලාංකීය සමාජ ස්ථර සවිබල ගැන්වීමෙහිලා කැමති ඔබ https://www.daraz.lk/donation/ වෙත පිවිසෙන්න.

Daraz ගැන

2015 දී ආරම්භ වී දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ අවකාශය බවට පත්වන්නට සමත් වූ Daraz පකිස්ථානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ මියන්මාරය යන රටවල්වල 200,000 කට අධික ව්‍යවසායකයන් පිරිසක් වෙත ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා විවර කර දී ඇත. කලාපයේ අතිනවීනතම තාක්ෂණයෙන් පිරිපුන්ව විද්‍යුත් වාණිජ පහසුකම් සලසන්නා ලෙස කීර්තිමත් Daraz මිලියන 500 ක පාරිභෝගික පිරිසකට සේවා සලසා දෙයි. ඩිජිටල්කරණය වූ Daraz Express අධිවේගී භාණ්ඩ බෙදා හැරීමේ සේවාවත්, Daraz Pay මුදල් ගනුදෙනු ක‍්‍රමවේදයත් එම ක්ෂේත‍්‍රයන්ගේ කාර්යක්ෂම සේවාවන් ලෙස ජනතා විශ්වාසය දිනාගෙන ඇත. 2030 වන විට මිලියන 100 ක ව්‍යවසායක – පාරිභෝගික පිරිසක් Daraz වටා එකමුතු කරගනිමින් දකුණු ආසියාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රාහකයා බවට පත්වීමේ ඉලක්කය සහිතව Daraz කටයුතු කරයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න  www.daraz.com


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply