DFCC බැංකුවේ පොසොන් භක්ති ගීත වැඩසටහන සහ දන්සැල කොළඹදී සහ මහනුවරදී පවත්වන ලදි.

Share with your friend

DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන දෙන DFCC බැංකුව මෙම වැඩසටහන් සිය Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු කළේ ය. මෙම වැඩසටහන් දෙකටම විශාල පිරිසක් සහභාගී වූ අතර, එම පිරිසට උපරිම පහසුකම් සැලසීම සඳහා DFCC සේවක පිරිස ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කළහ. 

මෙම වැඩසටහන්වලට DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම්, ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්, විශේෂ ආරාධිතයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මහනුවරදී පැවති භක්ති ගීත වැඩසටහනට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ කැන්ඩි සිටි සෙන්ටර් හි සභාපති තුසිත විජයසේන යන මහත්වරුන් සමග මහනුවර වෙළඳ සංගම්වල සභාපතිවරුන්ද සහභාගී වූහ. 

මෙම වැඩසටහන් සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් පළකළේ ය. “පොසොන් පොහොය නිමිත්තෙන් මෙවැනි අර්ථවත් වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවට බුදුදහමේ සම්ප්‍රාප්තිය සමරන අතරම, එකමුතු බව, කරුණාව සහ ත්‍යාගශීලීත්වය වැනි ගුණාංගවල වැදගත්කම අවධාරණය කිරීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් අප දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම ‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස ඉදිරියටත් රටේ ජනතාවට ඉහළම තලයේ සේවාවක් සැලසීම අපගේ බලාපොරොත්තුවයි.” 

DFCC බැංකුව පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ භක්ති ගීත වැඩසටහනේ අවස්ථා කිහිපයක් 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ. 

Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. 

Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply