Hemas Consumer Brands දිවයිනේ සියළු ආයතන අභිබවා ‘සමස්ථ ජයග්‍රාහකයා” ලෙස JASTECA 2025 හිදී කිරුළු පැළඳ වූ වගයි.

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සන්නාමයක් වන Hemas Consumer Brands JASTECA 2025 සම්මාන උළලේ දී “සමස්ථ ජයග්‍රාහකයා” ලෙස දිවයිනේ අනෙකුත් බහු ජාතික, දේශීය, රාජ්‍ය සහ විවිධ පරිමාණයේ ආයතන සියල්ල අභිබවමින් ගෞරවයට පාත්‍ර විය. මෙමගින් ජපන් පංච විධ මුලධර්මයන් සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ අදහස් ඇතුළු අනෙකුත් කළමනාකරණ සංකල්පයන් භාවිතයෙන් HCB අත් කරගෙන ඇති ජාතික තලයේ මෙහෙයුම් විශිෂ්ටත්වය (Lean කළමනා කරණය) යලි තහවුරු කෙරිනි. සේවක මණ්ඩලයේ සිට කළමණාකාරිත්වය දක්වා විහිදෙන සංස්කෘතිය විසින් ප්‍රදර්ශනය කල අඛණ්ඩ සහ විශිෂ්ට ප්‍රතිඵල HCB හි මෙම ජයග්‍රහණයට පාදක විය.

default

දශක තුනක ආසන්න කලක සිට Japan Sri Lanka Technical and Cultural Association (JASTECA) විසින් සංවිධානය කරනු ලබන මෙම JASTECA සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය උදෙසා ඇති උසස්ම ඇගයීම වේ. ගුණාත්මක භාවය, ඵලදායිතාවය, සේවක සහභාගීත්වය සහ ආයතනික සමාජ වගකීම්වලට සම්බන්ධ ජපන් මුල ධර්මයන් තම පද්ධතීන් තුළට ආකර්ෂණය කරගත් ආයතන මෙම සම්මාන උළලේදී පිළිගැනීමට ලක් කරනු ලබයි. ජපන් සහ ශ්‍රී ලංකා විද්වත් මඩුල්ලක් මගින් මෙයට ඉදිරි පත් වන ආයතන සියල්ල තියුණු ලෙස විගණනය කිරීමට පාත්‍ර වන අතර එහිදී ආයතනයන්හි මෙහෙයුම් ශක්තිය සහ එම ආයතන මගින් ව්‍යාපාරයට ඇති කරනු ලබන තරඟකාරී වාසිය පිලිබඳව සලකා බලයි.

Hemas Consumer Brands හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ “වසර පහක විරාමයකින් පසු පළමු වරට පැවෙත්වෙන සම්මාන උළෙලක් වන JASTECA 2025 හිදී ශ්‍රී ලංකාවේ හොඳම ආයතන අතරින් සමස්ථ ජයග්‍රාහකයා (Overall Winner) ලෙස නම් ලැබීම අපට මහත් ගෞරවයක්. අප ආයතනයේ සේවක මහත්ම මහත්මින්ගේ අඛණ්ඩ උත්සාහය සහ ක්‍රියාවලින් හි ඇති නාස්තීන් අවම කිරීමට ගත් කැපවීම තුළින් අත් කරගත් අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙම සම්මානය මගින් තහවුරු කරනවා. උසස්ම ගුණාත්මක බවින් යුක්ත, වගකීමෙන්, තිරසාරව සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන තුළින් ජන ජීවිතය සවිමත් කිරීම යන අප ආයතනයේ අරමුණ තව තවත් තහවුරු කර ශක්තිමත් කිරීමට මෙම සම්මානය සහය වනවාට නොඅනුමානයි.” යනුවෙනි. 

Hemas Consumer Brands හි නිෂ්පාදන අධ්‍යක්ෂක විරාජ් ජයසූරිය මහතා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, “මෙම ඇගයීම ලෝක මට්ටමේ ජපන් කළමනාකරණ සංකල්ප පදනම් කරගෙන ගොඩනැගී තිබෙනවා. අපගේ lean කළමනාකාරීත්ව ගමනෙහි අඩිතාලම වන්නේ ජපන් පංචවිධ මුලධර්ම වැනි සංකල්පයන් වන අතර එමගින් විනය සහ සේවක මඩුල්ලේ උද්යෝගීමත් සහභාගීත්වය ඇති කරන අතරම නිෂ්පාදනවල ගුණාත්මක බව, ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව යන අංගයන් ද ඔප් නංවනවා. ඒ සමගම අපගේ නවෝත්පාදන අදහස් ඉදිරිපත් කිරීමට ගොඩනගා ඇති පද්ධතිය මගින් සියළු සේවකයන්ට දිනපතා නිරන්තරයෙන් ආයතන සම්මතයන්ට අභියෝග කරමින් නිෂ්පාදන ක්‍රියාවලීන් හි ඇති නාස්තීන් ඉවත් කර වැඩි දියුණු කිරීම් ඉහළ කළමනාකාරිත්වයට ගෙන ඒමට වේදිකාවක් නිර්මාණය කර ඇත. මෙම නවෝත්පාදන අදහස් ලබා ගැනීමට ඇති පද්ධතිය මගින් අපගේ පංචවිධ මුලධර්මයන්ගෙන් සෑදුන ශක්තිමත් පදනම තවදුරටත් සවිමත් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට දිනපතා නවෝත්පාදන අදහස් 20ක් 30ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා. මෙය අපගේ සේවක මඩුල්ලට ආයතනය වෙත ඇති දැඩි ලැදිකම සහ ඔවුන්ගේ නිර්මාණ ශිලිත්වය මැනවින් විදහා දක්වනවා. ඔවුන් ලබාදෙන මෙම අදහස් HCB ආයතනය ඉදිරියට ගෙන යන අතරම ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතද දියුණු කරනවා.” ලෙසිනි. 

JASTECA සම්මාන 2025 හිදී Hemas Consumer Brands විසින් අත්කර ගත් මෙම ජයග්‍රහණය, lean කළමනාකාරීත්වය තුළ දිනපතා සේවක මහත්ම මහත්මීන් විසින් ලබා දෙනු ලබන නවෝත්පාදන අදහස් මගින් ඇති කරන පරිවර්තනීය ශක්තිය ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.


Share with your friend