Intrepid, MDF සහ SLTDA එක්ව සංවිධාන කළ සංචාරක කර්මාන්තයේ නියුතු කාන්තාවන්ගේ නිපුණතා සංවර්ධන සැසියක් බණ්ඩාරවෙලදී

Share with your friend

Intrepid Colombo සමාගම දියත් කරන “Women in Tourism” වැඩසටහනේ තුන්වන අදියර ලෙස, ඌව පළාතේ බණ්ඩාරවෙලදී පැවති නිපුණතා සංවර්ධන වැඩමුළු දෙකක් පසුගියදා සාර්ථකව පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංවර්ධන ඒකකය (MDF) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධාන කෙරුණු මෙම සැසිය යටතේ වැඩමුළු දෙකක් හරහා, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන්මග තුළ විවිධ අදියරවලදී කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණ විය. 

සංචාරක අගය දාමය පුරා කාන්තාවන් සවිබල ගැන්වීමට පරිපූර්ණ ප්‍රවේශයක් නිර්මාණය කරමින් මෙහිදී පළමු සැසිය සඳහා මේවන විටත් සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරික කාන්තාවන් සහභාගී වූ අතර, දෙවන සැසිය සඳහා එම සංචාර මෙහෙයවීමට අපේක්ෂා කරන මෙන්ම දැනට එම ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවෝ රැසක් සහභාගී වූහ. 2024 සැප්තැම්බර් මස පළමු අදියර දියත් කළ දින සිට මේ දක්වා එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. 

“කාන්තාවන්ගේ වෘත්තීය අවශ්‍යතා සපුරාලීම සඳහාම වූ එළඹුමක් ඔස්සේ කටයුතු කිරීම අපගේ මෙම වැඩසටහනේ විශේෂත්වයයි. තම ව්‍යාපාරය මීළඟ අදියරට ගෙන යාමට අපේක්ෂා කරන ව්‍යාපාර හිමිකාරිනියන්ට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පළමු වරට පා තබන සංචාර මෙහෙයවන කාන්තාවන්ට ද සාර්ථක වීමට අවශ්‍ය මෙවලම්, සබඳතා සහ විශ්වාසය හිමිකර දීමට අප මේ හරහා කටයුතු කරනවා. බණ්ඩාරවෙලදී ඔවුන් පෙන්නුම් කළ උනන්දුව සහ උද්‍යෝගය ඉතා විශිෂ්ටයි,” යනුවෙන් Intrepid සමාගමේ මෙරට සාමන්‍යාධිකාරී පූර්ණක දෙල්පචිත්‍ර මහතා සඳහන් කළේය. 

ව්‍යාපාර හිමිකාරියන් සඳහා පැවැත්වූ පුහුණු වැඩසටහනේදී, ඔවුන්ගේ ව්‍යාපාරවලට මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ද ප්‍රතිලාභ හිමිවන තිරසර සංචාරක ක්‍රමවේද, වෙළෙඳපොළ නවෝත්පාදන සහ අන්තර්කරණ ව්‍යාපාරික මොඩල ගොඩනැගීමට අවශ්‍ය උසස් ක්‍රමෝපාය කෙරෙහි අවධානය යොමු කෙරිණි. නවාතැන් සපයන්නියන්ගේ සිට සංචාරක අත්දැකීම් සැලසුම් කරන පිරිස දක්වා සංචාරක කර්මාන්තෙය් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තාවෝ රැසක් ඊට සහභාගී වූහ. 

“Intrepid සහ MDF එක්ව සංවිධාන කරන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ඌව පළාතේ පැවැත්වීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. පසුගිය වසරේ සාර්ථකත්වය මෙන්ම, මෙම වසරේ මුලදී මධ්‍යම පළාතේ පැවති පුහුණු වැඩමුළුවල සාර්ථකත්වය මත මෙවර ඌව පළාතේ ව්‍යාපාරික කාන්තාවන් සහ සංචාර මෙහෙයවන්නියන් සඳහා වැඩමුළු පැවැත්වීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වැඩි කාන්තාවන් පිරිසක් සම්බන්ධකර ගැනීම සඳහා තැබූ තවත් ශක්තිමත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙම හවුල්කාරිත්වය අඛණ්ඩව වර්ධනය කිරීමටත්, කාන්තාවන් සඳහා අර්ථවත් ආර්ථික අවස්ථා නිර්මාණය කරන ව්‍යාපාරික මොඩල සඳහා සහයෝගය ලබා දීමටත් අප ඉදිරියටත් කැප වනවා,” යනුවෙන් MDF ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මර්යම් පිරාචා මහත්මිය ප්‍රකාශ කළාය. 

සංචාර මෙහෙයවන කාන්තාවන් සඳහා පැවති සැසියේදී, ආත්ම විශ්වාසය ගොඩනැගීම, කතාන්දර කීමේ ශිල්පීය ක්‍රම සහ ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය තුළ සංචාරකයින් හට මගපෙන්වීම සඳහා අත්‍යවශ්‍ය සංස්කෘතික භාෂා කුසලතා කෙරෙහි අවධානය යොමු කෙරිණි. සහභාගී වූ කාන්තාවෝ බොහෝ දෙනෙක්, සංචාරක මගපෙන්වීමේ ක්ෂේත්‍රයට කාන්තාවන් යොමු නොවී සිටීමට හේතු වූ සමාජ බාධක සහ සම්ප්‍රදායික සීමා ජය ගැනීමට මෙම වැඩසටහන බෙහෙවින් උපකාරී වූ බව මෙහිදී සඳහන් කළහ. 

දැවැන්ත ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අසමතුලිතතාවක් පවතින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කාන්තා නියෝජනය 10% ක් තරම් සුළු ප්‍රමාණයක්වන අතර නායකත්ව භූමිකාවල කටයුතු කරන ප්‍රතිශතය ඊට ද වඩා අඩු මට්ටමක පවතී. මෙම ඉලක්කගත වැඩසටහන් හරහා වඩාත් විවෘත සංචාරක කර්මාන්තයක් ගොඩනගමින් මෙරට මානව සම්පතින් උපරිම ඵල නෙළා ගැනීමත්, ඒ හරහා ඉහත ගැටලුවට සාර්ථක පිළියම් යෙදීමත් Intrepid සමාගමේ අරමුණයි. 

සාර්ථවක නිමාවට පත්වූ වැඩමුළු මාලාව දිවයිනේ අනෙකුත් පළාත්වල කාන්තාවන් වෙතට ද ගෙන යාමට මේවන විට ද සැලසුම්කර තිබේ. විවිධ පළාත්වල එලෙස සංවිධාන කෙරෙන සැසිවල වඩාත් කැපීපෙනෙන පිරිසට ජාතික සංචාරක මගපෙන්වන්නන්ගේ බලපත්‍රය ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව දිනා ගැනීමටත්, අනතුරුව Intrepid සමාගමේ සංචාර මෙහෙයවන්නන්ගේ කණ්ඩායමට සම්බන්ධ වීමටත් අවස්ථාව උදා වේ. ජාතික මට්ටමේ බලපත්‍රලාභී සංචාරක මගපෙන්වන්නියක වීමේ අදිටනින් යුතුව ලොව සමග ශ්‍රී ලංකාවේ වගතුග බෙදාහැරීමට කටයුතු කළ සංචාර මෙහෙයවන කාන්තාවක් සඳහා මේවන විට ද එවැනි එක් ශිෂ්‍යත්වයක් පිරිනමා තිබේ. ඇගේ ගමන, තවත් බොහෝ පිරිසකගේ ගමනක ආරම්භය සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නොනැවතී පෙරට යමින් සිටින මේ මොහොතේ, ආගන්තුකයින් සඳහා සැබෑ අත්දැකීමක් පිරිනමන අතරම සමස්ත ප්‍රජාවට ප්‍රතිලාභ සලසන වඩාත් තිරසර, අන්තර්කරණ සහ දේශීයත්වය මත පදනම් වූ සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා “Women in Tourism” වැනි වැඩසටහන් ඉතා තීරණාත්මක වී තිබේ. 


Share with your friend