Macbertan සමාගම CNCI රන් සම්මාන දිනයි 

Share with your friend

තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී මධ්‍යම ඛාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර වර්ධනය යන අංශවලින් එම සමාගම ලබා ඇති ප්‍රගතිය යළි තහවුරු වේ. 1997දී McLarens Holdings සහ Alliance Finance යන සමාගම් අතර ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්වයක ප්‍රතිපලයක් ලෙස බිහි වූ Macbertan සමාගම මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට සුවිශාල දායකත්වයක් සපයා ඇත. එම සමාගම Expanded Polyethylene (EPE) Foam සහ Air Bubble Sheet ඇතුළු උසස් තත්ත්වයේ ඇලුමිනියම් සහ ප්ලාස්ටික් බැරියර් ලැමිනේට් ටියුබ් දක්වා විහිදී යන පුළුල් නිෂ්පාදන පරාසයකට හිමිකම් කියයි. ආරම්භයේ සිට වර්තමානය දක්වා උසස් තාක්ෂණ ක්‍රමවේදවලට අනුගත වෙමින් අඛණ්ඩව සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවා ඇති එම සමාගම ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා තිබේ.

‘වැඩි දියුණු කරන ලද පහසුව සහ ආරක්ෂාව’ යන පාරිභෝගික පොරොන්දුව අනුව නිෂ්පාදන කටයුතු සිදු කරන Macbertan සමාගමේ කාර්ය මණ්ඩලය 125කට අධික වේ. නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත කර්මාන්ත ශාලාවකට හිමිකම් කියන එහි නිෂ්පාදන සන්නාම අතර McFoam, McFoil, McFoil Ultrawide, McWrap Protect Plus, සහ McLami Tubes ප්‍රධාන වේ. CNCI රන් සම්මානය Macbertan සමාගම නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දරන නායකත්වය තහවුරු කරයි. ඒ තුළින් නව්‍යකරණය, විශ්වසනීයභාවය සහ දේශීය නිමැවුම් විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම සතු කැපවීම ඇගැයීමට ලක් කර ඇත. ඉදිරියේදී තාප සහ ශබ්ද පරිවරණ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ කළාපීය වශයෙන් ඇසුරුම්කරණ විසඳුම් වඩාත් පුළුල් කිරීම සමාගමේ අපේක්ෂාවයි. වෘත්තීමය සේවා බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සමග හවුල්කාරිත්ව ඇති කර ගැනීමටද සමාගම සැළැසුම් කර ඇත. “ශ්‍රී ලංකාව තුළ නිපදවන අපගේ නිෂ්පාදන සියල්ල ගෝලීය ප්‍රමිතිවලට අනුගත වෙමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට අප සෑම විටම කැප වී සිටිනවා. මෙම සම්මානය ඒ වෙනුවෙන් ලැබුණු සුවිශේෂ සහ වටිනා දිරි ගැන්වීමක්.” සමාගමේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කළේය.


Share with your friend