‘Race The Pearl’ පාපැදි තරගකරුවන්ට ශක්තියක් වූ ලින්ක් නැචුරල්

Share with your friend

දශක තුනකට අධික කාලයක් දෙස් විදෙස් විශ්වාසය දිනූ ලින්ක් නැචුරල් ආයතනය, ‘Race The Pearl’ පාපැදි ධාවන තරඟයේ තරගකරුවන් සවිබල ගැන්වීමට අනුග්‍රාහකත්වය දැක්වූවාය. එම 24 පැයේ පාපැදි තරගය 5 වැනි වරටත් සාර්ථක ලෙස පවත්වනු ලැබීය. ඒකල තරගයේ ජයග්‍රාහකයා වශයෙන්, එක්සත් රාජධානියේ ටෝබි රීඩ් පැය 23 ක් හා මිනිත්තු හයකින් තරගය අවසන් කරමින් කිරුළ දිනා ගත් අතර,  කණ්ඩායම් පාපැදි ධාවන තරඟය පැය 18 ක් හා මිනිත්තු දහයකින් නිමා කරමින් Kelani Cycling පාපැදි කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී. 

Race The Pearl පාපැදි තරගය ශ්‍රී ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝ මීටර 600 ක සමස්ත දුර ප්‍රමාණයක් ආවරණය කරමින් පැවැත්වුණු අතර, ඊට එක්වූ පාපැදි තරගකරුවෝ ශ්‍රී ලංකාවේ උතුරු දෙසින් පිහිටි පේදුරුතුඩුවෙන් තරගය ආරම්භ කර, ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ දෙවුන්දර තුඩුවේ අවසන් ස්ථානය දක්වා එම දුර ප්‍රමාණය අදියර පහකින් යුතුව අවසන් කළහ. 

දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ලින්ක් නැචුරල් නිෂ්පාදන වන ලින්ක් සමහන් සහ ලින්ක් සවස්ථ අමෘත, ජාත්‍යන්තර වශයෙන් දිවයින ප්‍රවර්ධනය කරන මෙම ශ්‍රී ලාංකීය පාපැදි ඉසව්වට සහභාගී වූ සියලු තරගකරුවන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවමින් ඔවුන්ගේ ජවය ශක්තිය නංවන පානය ලෙස අත්වැල් බැදගෙන තිබිණි. තරගය පැවැත්වෙන අතරතුර, පේදුරුතුඩුව, වව්නියාව, දඹුල්ල, වැල්ලවාය සහ දෙවුන්දර යන ස්ථානවල ලින්ක් නැචුරල් කණ්ඩායම් යොදවා තිබිණි. එහිදී ඔවුහු පාපැදි තරගකරුවන්ගේ විඩාව  නිවාලීමට කටයුතු කළ අතර, තරගයේ ඊළග අදියරට පෙර කාර්ය මණ්ඩලය විවේක ගැන්වීමටද සලස්වනු ලැබිණි. තරගකරුවන්ගේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම සඳහා මෙන්ම, ශරීර අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහාද සිසිල් කළ ස්වස්ථ අමෘත පානය ඔවුන් වෙත  ලබා දුන් අතර, පාපැදි තරගකරුවන්ගේ ප්‍රතිශක්තිය  වර්ධනය කිරීමට හා මානසික නිරවුල්භාවය වැඩි කිරීම සඳහා කෝපි හා මුසුකර ලින්ක් සමහන් පානය ලබා දෙන ලදී. ඒ සියල්ල සිදු කෙරුණේ, තරඟය අතරතුර බහුල වශයෙන් අත්විඳි වැසි සහිත කාලගුණික තත්ත්වයද විශේෂයෙන් සැලකිල්ලට ගනිමිනි. පාපැදි තරගකරුවන් මෙන්ම ඔවුන්ගේ සහයක කාර්ය මණ්ඩලයද මෙම නිෂ්පාදන ද්විත්වය පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් පළ කළ අතර ලින්ක් සමහන් හා ලින්ක් ස්වස්ථ අමෘත, විඩාවට පත් ශරීරය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර තරඟය පුරාම සිය ජවය සහ මානසික ශක්තිය ඉහළ මට්ටමෙන් තබා ගැනීමට උපකාරී වූ මාහැඟි පාන බවද පැවසූහ.

ලින්ක් සමහන් සහ ලින්ක් ස්වස්ථ අමෘත, ලින්ක් නැචුරල් පරිශ්‍රයෙහි පිහිටා තිබෙන, නවීනතම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ නිෂ්පාදනය කරන ලද අද්විතීය නිෂ්පාදන දෙවර්ගයකි. වත්මන් පාරිභෝගිකයින්ගේ අතිශය කාර්ය බහුල ජීවන රටාව හා මනාසේ යෝග්‍ය වන පරිදි, පහසු ඇසුරුම්වලින් යුතුව එම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. ලින්ක් සමහන් නිෂ්පාදනයෙහි පර්යේෂණ තත්ත්වයන් යටතේ සනාථ කරන ලද ඉහළම ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් අඩංගු  වන අතර, දිනපතා පානය කිරීමෙන් සෙම් රෝග සහ ඇස්  ආශ්‍රිත රෝග ලක්ෂණ ගණනාවකින්ද වැළකිය හැකි බවට  සායනිකව සනාථ වී තිබේ.  ඒ හේතුවෙන් ඉකුත් දශක තුන තිස්සේ ලින්ක් සමහන්, ලොව පුරා පාරිභෝගිකයින්ගේ විශ්වාසයටද පාත්‍ර වී තිබේ. ලින්ක් නැචුරල් වෙතින් පිදෙන තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන ලින්ක් ස්වස්ථ අමෘත නවතම හඳුන්වාදීමක් වන අතර, එය ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත පානයකි. නෙල්ලි සහ රසකිඳ ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිපදවා ඇති ස්වස්ථ අමෘත පානයෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ පීඩාවන් සහ දැවිල්ල වළක්වා ප්‍රතිශක්තිය ආරක්ෂා කර දෙන අතරම, නිතිපතා පානය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයකට ඉන් ලැබෙන සහය අතිමහත්ය. ලින්ක් ස්වස්ථ අමෘත භාවිතයෙන්, වියළි හා රළු සම, කුරුලෑ,විලුඹ ඉරිතැලීම්, ඇස්වල, ශරීරයේ සහ පාදවල දැවිල්ල,  අධික දහඩිය මෙන්ම සිරුරේ දුර්ගන්ධය හා ආමාශයේ දැවිල්ල ඇතුළු බහුලව පවතිවන රෝග හා අපහසුතා සමනය කර අත්දුටු ප්‍රතිඵල අත්කර ගත හැකිය. 

මහද්වීප පහම ඇතුළත්ව, ලෝකයේ රටවල් ගණනාවක් වෙත ලින්ක් සමහන් ඇතුළු නිෂ්පාදන රාශියක් බෙදා හරින ප්‍රමුඛ පෙළේ අපනයනකරුවෙකු වන ලින්ක් නැචුරල්, පාරම්පරික ආයුර්වේද දැනුම නවීන විද්‍යාත්මක ක්‍රමවලට අනුකූලව අති නවීන තාක්‍ෂණය භාවිත කරමින්, වඩාත් සුරක්ෂිත අයුරින් වෙළෙඳ පොළට සැපයීමේ දැක්ම සහිතව සිය නිෂ්පාදන කාර්යය මෙහෙයවයි. එම උදාරතර දැක්ම පෙරදැරිව, වත්මන් පාරිභෝගිකයින් වෙත සෞඛ්‍ය සම්පන්න, දිඝායු සහිත වඩා ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට හැකි වන පරිදි තත්ත්වයෙන් උසස් නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ලින්ක් නැචුරල් නිරන්තරයෙන් කැපවෙයි.


Share with your friend