ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය දශක දෙකක සහයෝගීතාව ශක්තිමත් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ මුල් වරට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම පාඨමාලාව මඟින් ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියානු AI තාක්ෂණය පිළිබඳ උපාධියක් ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර මෙය මෙරට උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද හඳුන්වා දිය හැකි වනු ඇත.
මෙහි නිල සමාරම්භක අවස්ථාව පසුගිය දා පැවැත්වුණු අතර, පාඨමාලාවේ විශේෂාංග හඳුන්වා දීම මෙහිදී මූලික වශයෙන් සිදු කෙරිණි. Deakin හි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපන පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙනු ලබන මෙම පාඨමාලාව, SLIIT ආයතනයේ දේශීය විශේෂඥතාවත්, Deakin සරසවියේ ජාත්‍යන්තර විශිෂ්ටත්වයත් එකට සම්මිශ්‍රණයෙන් නිර්මාණය වූ ජාත්‍යන්තර ඉගෙනුම් අත්දැකීමක් ලාංකික සිසුන්ට ලබා දෙන පාඨමාලාවක් සේ සැලකිය හැකිය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා, “ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා අධ්‍යාපන හවුල්කාරීත්වය ඉදිරියටත් අඛණ්ඩව ශක්තිමත්ව පවත්වා ගෙන යාමට අප බලාපොරොත්තු වන අතර, මේ දක්වා අපගේ අධ්‍යාපන ආයතන 30කට වැඩි ප්‍රමාණයක් සහ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකිකයන් 18,000කට අධික සංඛ්‍යාවක් මෙම ද්වීපාර්ශවීය හවුල්කාරීත්වය මඟින් නියෝජනය කරනු ලබනවා. දශක දෙකක කාලයක් පුරා Deakin විශ්වවිද්‍යාලය සහ SLIIT අතර පැවති සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක ඕස්ට්‍රේලියානු අධ්‍යාපන වරම් පිරිනමන පුරෝගාමීන් බවට මෙම ආයතන පත් වී තිබෙනවා. දිනෙන් දින වර්ධනය වෙමින් පවතින සහ උපායමාර්ගිකව වැදගත් ක්ෂේත්රයක් වන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ Deakin විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් සමඟ Deakin සහ SLIIT හවුල්කාරීත්වය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්නට හැකි වී තිබෙනවා.”
සභාව අමතමින් අදහස් දැක්වූ, Deakin විශ්වවිද්‍යාලයේ විද්‍යා, ඉංජිනේරු සහ නිර්මිත පරිසර පීඨයේ ජාත්‍යන්තර පර්යේෂණ හවුල්කාරීත්වය පිළිබඳ සහකාර පීඨාධිපති සහ ජාත්‍යන්තර පර්යේෂණ හවුල්කාරීත්වයේ සහකාර උපකුලපති මහාචාර්ය බාස් බාස්කරන් මහතා, “ශ්‍රී ලංකාවේ පළමු ඕස්ට්‍රේලියානු AI අධ්‍යාපන වැඩසටහන වන Deakin විශ්වවිද්‍යාලයේ AI උපාධිය සමඟ අනාගත දොරගුළු විවර කරගන්න. කෘතිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ප්‍රමුඛයන් සමඟ එක්වී ඔබේ හෙට දවස, අදම හැඩගස්වා ගන්න” යනුවෙන් සඳහන් කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ විද්වත් මණ්ඩල සාමාජිකයන් අතර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස්, ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්ය බාස් බාස්කරන් සහ SLIIT නියෝජනය කරමින් එහි කුලපති සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ විශ්වවිද්‍යාල ප්‍රධානී මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී විය.
මෙම වැඩසටහන මගින් සිසුන්ට AI, දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම් සහ රොබෝ විද්‍යාව වැනි ක්ෂේත්රවල ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික විශේෂඥතාවක් ලබා දෙන අතර, වඩාත් වැදගත් කරුණ නම්, මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාවේ Deakin හි විෂය මාලාවට අනුකූලව සකස් කොට තිබීමයි. මේ නිසා මෙම පාඨමාලාව එකම ගෝලීය අධ්‍යයන ප්රමිතීන් සපුරාලන බවට සහතික විය හැකිය. තාක්ෂණ අංශයේ වෘත්තීන් සඳහා ඔවුන් සූදානම් කරන වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගනිමින්, කර්මාන්ත කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමට සිසුන්ට අවස්ථාව හිමි වීමද විශේෂත්වයකි. එවැනි ප්‍රවේශයක් තුළින් ඔවුන්ගේ ඉගෙනීම වැඩි දියුණු කිරීමට හැකි වනු ඇති අතර, වේගයෙන් සංවර්ධනය වන ක්ෂේත්රයක අනාගතයට සූදානම් භූමිකාවන් සඳහා අත්‍යවශ්‍ය කුසලතාවලින් ඔවුන් සන්නද්ධ කිරීම ද මෙම පාඨාමාලාවේ ප්‍රධානතම අරමුණකි.
“SLIIT සහ Deakin අතර ඇති ගෝලීය හවුල්කාරිත්වය තුළින් AI තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හඳුන්වා දීම දකුණු ආසියාව තුළ තාක්ෂණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ AI වෘත්තිකයන් දායාද කිරීමට ද හේතු වනු ඇත,” යනුවෙන් Deakin විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පාසලේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ජාත්‍යන්තර සහ අන්තර්ජාතික අධ්‍යාපන අංශයේ සහකාර ප්‍රධානී මහාචාර්ය රූපක් සිංහා මහතා සඳහන් කළේය.
Deakin විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සමඟ නිතිපතා පුද්ගලික සැසිවලට සම්බන්ධ වීමේ අවස්ථාව සිසුන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක තම අධ්‍යයන කටයුතු ඕස්ට්‍රේලියාව වෙත මාරු කරගැනීමේ පූර්ණ නම්‍යශීලී බවක් ද සිසුන්ට ලබා දී ඇත. මීට අමතරව, ඉහළ දක්ෂතා දක්වන සිසුන්ට පාඨමාලා ගාස්තු වලින් 25%ක් දක්වා ආවරණය වන පරිදි කුසලතා මත පදනම් වූ ශිෂ්‍යත්ව ලබා ගත හැකි අතර මෙමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට දැරිය හැකි මුදලකට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ වරම ද මේ නිසා හිමි වේ.
උපකුලපති, SLIIT ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ලලිත් ගමගේ මහතා, “ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය සමඟ දශක දෙකක කාලයක් පුරා සාර්ථක හවුල්කාරිත්වයක් ගොඩනඟා ගනිමින්, ශ්‍රී ලංකාවේ පළමු ඕස්ට්‍රේලියානු AI උපාධි වැඩසටහන SLIIT හි දියත් කිරීමට ලැබීම පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. ජාත්‍යන්තර කීර්තියෙන් පිදුම් ලැබූ Deakin විශ්වවිද්‍යාලයත්, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්රමුඛයෙකු වන SLIIT ආයතනයත් ඒකාබද්ධව පිරිනමන මෙම වැඩසටහන සිසුන්ට උසස් තත්ත්වයේ ඉගෙනුම් අත්දැකීමක් සහ කෘතිම බුද්ධිය පිළිබඳ වටිනා කුසලතා ලබා දෙන බව සහතික කරනවා. මෙම සහයෝගීතාව අපගේ සිසුන්ට නව දොරටු විවර කරන දෙන අතරම, ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා නවෝත්පාදන වර්ධනයට සහාය වීම සඳහා අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීමටත් මෙම පාඨමාලාව උපකාරී වනවා. මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වන අතර එය අපගේ සිසුන්ට සහ ජාතියට ඇති කරන ධනාත්මක බලපෑම දෙස ඉතා උනන්දුවෙන් යුතුව අප බලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.