‘කච කච’ රැඩිකල් ප්‍රකාශනයේ දශකයක සැමරුම කොළඹදී

Share with your friend

කම්කරු පන්තියේ බාර් වල,වාරණය නොකළ, ත්‍රෛභාෂා කථන හා කලා වැඩසටහන්වලට අවුරුදු 10ක් සමරමින්, නව උපකරණ ප්‍රදාන දියත් කිරීමක් සහ භාෂාව, පන්තිය, ගණය වැනි සීමාවන් ඉක්මවන සහයෝගීතාවයකට සමූහ ආරාධනයකි මේ.

2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට කොළඹ නගරයේ දිගුකාලීන හා ශක්තිමත්ම නිර්මාණාත්මක වේදිකාවන්ගෙන් එකක් ලෙස වර්ධනය වී ඇත. 2025 දී, KACHA KACHA හි නිදහස් ප්‍රකාශනය, ප්‍රජා සත්කාරය සහ සංස්කෘතික ප්‍රතිරෝධයේ දශකයක් සනිටුහන් කරමින් විශේෂ සැමරුමක් අගෝස්තු 23, සවස 6.00 සිට රාත්‍රී 7 දක්වා කොළඹ රජයේ සේවා ක්‍රීඩා සංගමයේදී (Government Service Sports Club) පැවැත්වේ. මෙම රාත්‍රිය අවංක, ස්වදේශීය කලා​වේ බලය විශ්​වාස කරන ඕ​නෑම කෙනකුට නොමිලේ විවෘතයි.

ආරම්භයේ සිටම, KACHA KACHA සම්පූර්ණ සහභාගිත්වයක් ප්‍රවර්ධනය කරමින්, කාව්‍ය, රැප්, ගායන-රචනාකරුවන් සහ අනෙකුත් කලාකරුවන්ට දෙමළ, සිංහල, ඉංග්‍රීසි හෝ ත්‍රෛභාෂා මිශ්‍රණයක් තුළ නිදහස්ව කලාකරන්නට අවස්ථාව සැලසූ අගනා හා අත්‍යවශ්‍ය අවකාශයක් විය. ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ විවිධත්වය සමරමින්, කම්කරු පන්තියේ බාර්වල එකතුවෙන මෙම වැඩසටහන් පෙල, ‘කලා​ව කාටද’ යන්න සහ ‘කලාව ජීවත් වන්නේ කොහෙද’ යන්න​ට නව අර්ථයක් ලබා දුනි. අසම්පූර්ණ, නිපුණ නොවූ කතාවලින් බහුල ​වූ මේ අවකාශය නිතර එන්නන්, නවකයින් සහ නොගැලපෙන්නන්ට එක සේ තෝතැන්නක් විය.

“KACHA KACHA පිටුපස සංකල්පය නගරය, අනන්‍යතාවය සහ නාගරිකත්වයයි. යුද්ධයෙන් පසු, විචිත්‍රකීරීමේ සහ ශුද්ධීකරණයේ සංවර්ධන සිහිනයක් බවට පත් වෙමින් තිබූ කොළඹට අභියෝග කිරීමට මට වුවමනා උනා”, එවකට Colomboscope හි සහ-සංවිධායක රධීකා හෙට්ටිආරච්චි මෙම වැඩසටහන ඇර​ඹුවේ බිඳ භෙලීමේ තර්ජනයට ලක්ව තිබූ, ඇගේ හදවතට සමීප පරිශ්‍රයකට අ​වධානය යොමු කිරීමටයි. “කාසල් හෝටලය අතුරුදහන් වෙමින් පවතින ‘සැබෑ’ නගරයේ සංකේතයක්. අපගේ අරමුණ උනේ මෙම ස්ථානය අල්ලා ගැනීම නොව, ඉතිහාසයන්ගෙන් සහ සංගීතයෙන් මෙය ‘ජීවමාන’ කිරීමයි. මේ නගරය, අප සැමට පිටවීමේ භීතියකින් තොරව ජීවත් විය හැකි ස්ථානයක්. KACHA KACHA හි උපත එයයි. ඉමාඩ් එහි ප්‍රමුඛත්වය දැරුවා” ඇය වැඩි​දුරටත් ප්‍රකාශ කළා. මුල් කාලයේ සිටම මෙම වේදිකාවේ සහ-සංවිධායකයෙකු වූ ඩිලන් ප්‍රන්ස්ට අනුව, මෙහි හරය සැමවිටම සම-නිර්මාණයයි. “මෙය ඕනෑම කෙනෙකුට පැමිණ සහෝදරත්වය, ස්වාධීනත්වය සහ ප්‍රීතිය විඳින්නට හැකි අවකාශයක්” KACHA KACHA බිහි වූයේ “වර්ගවාදය විසුරුවා හැරීමේ අවශ්‍යතාවයෙන්.” සහ-සංවිධායක, අධ්‍යක්ෂ සහ සම්පාදක ඉමාඩ් මජීඩ් පවසන පරිදි, “මෙය කිසි විටෙකත් හුදෙක් කලා රාත්‍රියක් නොව, සහයෝගිතාව මත මුල් බැසගත් ව්‍යාපාරයක්” වුනා.

මෙම සැමරුමේදී පසුගිය වසර දහය තුළ මතක සටහන්, පෝස්ටර් සහ අදහස් ඇතුළත් සමරු සඟරාවක් එළිදැක්වීමට නියමිතයි. එමෙන්ම, අතීත වැඩසටහන් වල වීඩියෝ දර්ශන ඇතුළත් සංරක්ෂිත එකතුවක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. අතීත සහ අනාගත කලාකරුවන් සමඟ ඔවුන්ගේ ගමන් මඟ සහ අභියෝග පිළිබඳව සාකච්ඡා මණ්ඩලයකින් පසු, කවි, සංගීත හෝ වේදිකාව සමඟ ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීමට කැමති  ඕනෑම කෙනෙකුට අවස්ථාව සලසන විවෘත මයික් අංගයක්ද පැවැත්වෙනු ඇත.

තවද, ආයතනික සහාය හෝ ස්ථාවර ආදායමක් නොමැති, අවාසි සහගත ප්‍රජාවන් තුළ සිටින නැගී එන කලාකරුවන්ට මයික්‍රෆෝන, සංගීත භාණ්ඩ සහ පටිගත කිරීමේ උපකරණ වැනි අත්‍යවශ්‍ය මෙවලම් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා අලුතින් ආරම්භ කරන ලද KACHA KACHA උපකරණ ප්‍රදානය (KACHA KACHA Equipment Grant) පිළිබඳව ද කණ්ඩායම විසින් නිවේදනය කරනු ඇත. මෙම ප්‍රදානය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක්ද උත්සවය අතරතුරදී දියත් කිරීමට නියමිතයි.

රුපියල් 100,000 ක මුදලක් ප්‍රජා දායකත්වයන් හරහා රැස් කිරීමට මෙම කණ්ඩායම අපේක්ෂා කරයි. මෙම මුදල් ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට ගැනීම, සංග්‍රහ , සඟරා මුද්‍රණය සහ ප්‍රවාහන වියදම් වැනි මූලික අවශ්‍යතා සඳහා යොදවනු ඇත. “අපි මේ වේදිකාව කවදාවත් පාඩු ලබන ව්‍යාපාරයක් විදියට කරලා නැහැ,” යැයි මජීඩ් පවසයි. “මහජන අරමුදල් රැස් කිරීම (Crowdfunding) නිසා එය අවංකව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යන්න පුළුවන්. මිනිස්සු හැමවිටම එකතු වෙලා ප්‍රජාවට උදව් කරනවා, සහයෝගය දෙනවා. ඕනෑම කෙනෙකුට මෙයට එකතු වෙන්න පුළුවන්.”

KACHA KACHA හි අනාගතය සඳහා, අතීත කලාකරුවන් සහ සංවිධායකයින්ගෙන් සැදුම්ලත් නව කණ්ඩායමක් පිහිටවෙනු ඇත. මෙම කණ්ඩායම කලාකරුවන්ගේ අලුත් වන අවශ්‍යතා පිළිබඳව සොයා බලමින්, සමානාත්මතාවය, නිර්මාණාත්මක නිදහස සහ සමාජ පන්ති විඥානය සහිත එකමුතුවක් සඳහා වන KACHA KACHA හි කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. මෙම නව අදියර මෙහෙයවන්නේ වේදිකාවේ සිටින අය පමණක් නොවේ, තම ස්වර්ණමය යුගය සිහිපත් කරමින්, ආඩම්බරයෙන් තම දොරටු මෙම වැඩසහටහනට විවෘත කළ බාර් හිමියන් ද මේ සඳහා දායක වෙනු ඇත.

KACHA KACHA කිසිවිටෙකත් පරිපූර්ණත්වය හෝ කීර්තිය ගැන සැලකුවේ නැත. එය සැමවිටම අව්‍යාජ පැවැත්ම, සත්‍යය, සංවේදී බව සහ අවසරයකින් තොරව හඬ නැගිය හැකි ඉඩක් නිර්මාණය කිරීම පිළිබඳව විය. වසර ගණනාවක් පුරා, අපි එකට සිනාසුණා, ඇඬුවා, විරෝධතා දැක්වූවා, සහ නැටුවා. මේ රාත්‍රියේදී, අපි නැවතත් එම රිද්මයට පිවිසෙමු.

අගෝස්තු 23 වැනිදා, KACHA KACHA සාමූහිකය කලා නිර්මාණ කිසිදු පෙරහනකින් හෝ වාරණයකින් තොරව ඉදිරිපත් කරන විට සිදුවන්නේ කුමක්දැයි අත්විඳීමට, අලුතින් එක්වන හෝ පැරණි රසික සියලු දෙනාටම ආරාධනා කරයි. මෙම ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර දැන ගැනීමට හෝ සහයෝගය දැක්වීමට කැමති අය කරුණාකර ඉමාඩ් මජීඩ් (Imaad Majeed) 0766696489 දුරකථන අංකයෙන් සම්බන්ධ වන්න.


Share with your friend