දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

Share with your friend

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත. 

අවුරුදු 14කට වැඩි කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ හා ආයතනික කළමනාකරණ භූමිකාවල කටයුතු කර ඇති පල්ලෙවත්ත මහතා වසර 28කට වැඩි පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත් බැංකු හා අවදානම් කළමනාකරණ වෘත්තිකයකු ලෙස තමන් ලබා ඇති අත්දැකීම් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගනු ඇත. HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ දමිත් පල්ලෙවත්ත මහතා ආයතනික බැංකුකරණ සමූහයේ (Wholesale Banking Group) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස මෙන්ම  උපාය මාර්ගික අවදානම් කළමනාකරණය, ණය, ශාඛා බැංකුකරණ, මෙහෙයුම් ඇතුළු සෑම බැංකු ක්ෂේත්‍රයකම කටයුතු කර ඇත.

HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඔහුගේ නායකත්වය යටතේ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් තහවුරු කර ගැනීමට බැංකුව සමත්වී ඇත. එහිදී 2024 මූල්‍ය වර්ෂයේ මාස 9ක කාලය තුළ රුපියල් බිලියන 38.7ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් තිරසාර ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටමක් ප්‍රදර්ශනය කිරීමටද බැංකුව සමත් විය.

HNB හි නායකත්ව භූමිකාවන්ට අමතරව පල්ලෙවත්ත මහතා Acuity Partners (Pvt) Ltd, Acuity Securities Limited හි සභාපතිවරයා ලෙස ද Lanka Financial Services Bureau Limited හි අධ්‍යක්ෂවරයකු  ලෙසද කටයුතු කරනු ලබන පල්ලෙවත්ත මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපති/අධ්‍යක්ෂ ලෙසද පත් විය.

ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවිධ නායකත්ව තනතුරු මෙන්ම අධ්‍යක්ෂ තනතුරුවල කටයුතු කර ඇති පල්ලෙවත්ත මහතා 2021 නොවැම්බර් මස සිට කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව බංග්ලාදේශය, නේපාලය යන රටවලද ව්‍යාපාර ප්‍රාග්ධනය හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සිය ප්‍රවීනත්වය ප්‍රකට කිරීමට සමත් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගෙන ඇති පල්ලෙවත්ත මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ London School of Economics හි කළමනාකරණය පිළිඳ විද්‍යාවේදී උපාධියකටද හිමිකම් කියයි. එසේම ගෝලීය අවදානම් වෘත්තිකයින්ගේ සංගමය (GARP) විසින් පිළිගත් මූල්‍ය අවදානම් කළමනාකරුවෙකු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ප්‍රංශ මූල්‍ය වෙළෙඳපොල සංගමයේ ACI මෙහෙයුම් සහතිකලාභියකු මෙන්ම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකුද වේ.

එමෙන්ම GARP විසින් තිරසාර හා කාලගුණික අවදානම් සහතිකයක් හිමිකරගෙන ඇති ඔහු ඒ සියලු දේ තුළින් මූල්‍ය, සමාජීය හා පාරිසරික තිරසාර භාවිතයන්හි සාර්ථකත්වය වෙනුවෙන් සිදුකරන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය.


Share with your friend