නව පරපුරේ ජනප්‍රිය ගායිකා රයිනි සහභාගී වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු උදෙසා වන ක්‍රියාකාරී ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද Turning Point සංවාද මාලාවේ පළමු සංගීතමය වැඩසටහන

Share with your friend

ලොව පුරා ජනතාව තිරසාර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා සිය යුතුකම් ඉටු කරන බව ලෝක නායකයින්ට මතක් කර දෙමින් සාමූහික ක්‍රියාවන් මෙහෙයවීමේ හා වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ අංශ බලමුලු ගැන්වීමේ අරමුණින් #Act4SDGs ගෝලීය සතිය සැප්තැම්බර් 17 දා ආරම්භ විය.

The Road to Rights සංවිධානය ශ්‍රී ලංකාවේ ගෝලීය කැඳවුම් හවුල්කරුවා වශයෙන්, ගෝලීය සතියට සමගාමීව ශ්‍රී ලංකාවෙන් ක්‍රියාවන් මිලියනයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ ව්‍යාපෘතික් දියත් කරන ලදි. The Road to Rights යනු 2009 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු වෙනුවෙන් හඬ නැගූ හා ක්‍රියා කළ තරුණ-නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයක් වන අතර, 2018 දී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාදාම සම්මානයෙන් පිදුම් ලැබී ය. ගෝලීය සතිය සාර්ථක කර ගැනීම උදෙසා ඔවුන් ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කළේ ය

මෙම ගෝලීය සතිය තුළදී ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාව, මෙම ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වුව ද බලාපොරොත්තුවක් ඇති බව පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාව තුළ ගස් මිලියනයක් සිටුවීම අරමුණු කරගෙන “Tree for Life” ව්‍යාපෘතිය ද, ප්ලාස්ටික් භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා “Un-Plastic week” ව්‍යාපෘතිය ද, ආදරය හා කරුණාව පතුරුවා හැරීමේ අරමුණෙන් “Change a Life” ව්‍යාපෘතිය ද, මෙම බිහිසුණු වසංගත තත්ත්වය හමුවේ තම දිවි පරදුවට තබා අන් ජීවිත රකින මිනිසුන්ගේ සේවය ඇගයීම උදෙසා “Front-line Heroes” ව්‍යාපෘතිය ද ගෝලීය සිතියමේ ශ්‍රී ලංකා නාමය සනිටුහන් කරමින් සිදු කරන ලද ප්‍රධාන ක්‍රියාමාර්ග වේ. 

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම නවක තරුණ තරුණියන් සඳහා හඬ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන, රයිනි චාරුකා මහත්මිය,  #Act4SDGs ගෝලීය සතියට සමගාමීව දියත් කරන ලද Turning Point සංවාද වැඩසටහන් මාලාවේ ප්‍රථම වතාවට පවත්වනු ලැබූ සංගීතමය වැඩසටහන හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වීමට වරම් හිමි කර ගත්තා ය. රයිනි Road to Rights සංවිධානය හා එක්ව පිරිසිදු ජලය සහ සනීපාරක්‍ෂාව සඳහා වූ ගෝලිය අරමුණු අංක 6 සඳහා තානාපතිනිය ලෙස ක්‍රියා කරන අතර #Act4SDGs ගෝලීය සතියේ සමාප්ති උළෙල ඇයගේ මියුරු ගායනයෙන් මුසපත් කළාය.  

#Act4SDGs ගෝලීය සතියේ සමාප්ති උත්සවයේදී රයිනි එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු උදෙසා වන ක්‍රියාකාරී ව්‍යාපාරයේ (UN SDG Action Campaign) අධ්‍යක්ෂිකා මරීනා පොන්ටි මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡාවකටද සහභාගී වූවා ය. එහිදී මරීනා පොන්ටි මහත්මිය විසින් රයිනි මහත් හරසරින් පිළිගත් අතර ඇය කියා සිටියේ මරීනා පොන්ටි මහත්මිය හා “The Road to Rights” සංවිධානයේ නිර්මාතෘ අශාන් පෙරේරා සමඟ එම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සිය කෘතඥතාව පල කර සිටින බවයි. මරීනාගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රයිනි සඳහන් කළේ ගෝලීය සතිය තුළදී ශ්‍රී ලංකාවේ ගස් මිලියනයක් සිටුවීම අරමුණු කරගත් පැළ සිටුවීමේ ව්‍යාපාරය ඇය තුළ මහත් ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ බවයි. එසේම ඇය “ගස් සිටුවීම ඉතා සුන්දර ක්‍රියාවක් වන අතර එය අනාගතය සමඟ නැවත සම්බන්ධ වීමට සහ සොබාදහම දෙස බැලීමට මිනිසුන්ව පොළඹවයි” යනුවෙන් මරීනා පැවසූ වදන් ඉතා අගය කළාය. 

Turning Point සංවාද මාලාවේ පළමු සංගීත සංස්කරණය වන මෙහිදී සංගීතය ගැන වදනක් ප්‍රකාශ කිරීමට රයිනි අමතක නොකළා ය.  සංගීතය විශ්ව භාෂාවක් බවත්, සාමාන්‍යයෙන් මිනිසුන්ට තේරුම් කරන්න බැරි දේවල් සංගීතය මගින් මිනිස්සුන්ට තේරුම් කළ හැකි බවත් ඇය ප්‍රකාශ කළා ය. තව දුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ සංගීතය ජලය හා සමාන බවත්, ජලය එය අඩංගු ඕනෑම භාජනයක හැඩයට අනුව හැඩගැසෙන අයුරින් සංගීතය අපට අවශ්‍ය අයුරින් අවස්ථානුකූලව හැඩ ගැසීමට අපට උගන්වන බවත් ය. 

ඉන්පසුව #Act4SDG ගෝලීය සතිය සාර්ථක කර ගැනීම උදෙසා දායක වූ මිලියන සංඛ්‍යාත ජනතාවට මරීනා සිය කෘතඥතාවය පුද කර සිටියා ය.

සැප්තැම්බර් 28 දා, රයිනිගේ විශිෂ්ඨ කරන ගායනයත් සමඟින් #Act4SDG ගෝලීය සතියේ අවසානය සනිටුහන් කරන ලදි. එක්සත් ජාතීන්ගේ වෙබ් රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එම ගායනය ලොව පුරා ජනතාවගේ හදවත් ඇද බැඳ ගැනීමට සමත් විය. 

වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින්, සුවහසක් ජනයාගේ මෙන් ම මිහිතලයේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් යහපත් ආකාරයෙන් වෙනසක් සිදු කිරීමට එකට එක්ව ක්‍රියා කිරීමට, තමා හා එක්වන ලෙස ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට රයිනි ආරාධනා කළාය.


Share with your friend