‘කර්මාන්ත – විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025’: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු නවෝත්පාදනයට ටෝකියෝ සිමෙන්ති සවිය

Share with your friend

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධාන‍ය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර සහභාගීව සිටි අතර, සම්මන්ත්‍රණයේ සම්පත් දායකයින් ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ පීඨ සාමාජිකයින්, කීර්තිමත් ශාස්ත්‍රීය විශේෂඥයින්, සිවිල් ඉංජිනේරු වෘත්තිකයන්, අතීත සහ වර්තමාන පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යශිෂ්‍යාවන් සහභාගීව සිටියහ.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සිය ප්‍රධාන දේශනයේදී අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යා දැනුමින් සන්නද්ධ තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත්, එහිලා පවතින විෂයමාලා යාවත්කාලීන කිරීම තුලින් සියළු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ස්ථාපිත කිරීමේ වැදගත්කමත් අවධාරණය කල අතරම, රටේ වර්තමාන සහ අනාගත සංවර්ධන අවශ්‍යතා අරමුණු කරගත් නවෝත්පාදන බිහිකිරීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට විශ්ව විද්‍යාල වලින් ඉටුකරන අසමසම කාර්යභාරය ඇගයීමට ලක් කළාය. තවද, මෙවන් සහයෝගීතා වැඩසටහන් හරහා කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝගවලට පෙර සූදානමක් ඇති, සැබෑ ලෝකයේ ගැටළු විසඳීමේ කුසලතාවන්ගෙන් සන්නද්ධ, ප්‍රායෝගික චින්තකයින් බිහි කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ගෙන ඇති මෙම ප්‍රශස්ථ උත්සාහය ද අගමැතිතුමියගේ විශේෂ පැසසුමට ලක්විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන මෙම වාර්ෂික සම්මන්ත්‍රණයේ අරමුණ ඉංජිනේරු  උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම, ඵලදායී කර්මාන්ත-ශාස්ත්‍රීය සහයෝගීතාවයන් ගොඩනැගීමට යෙදවීමෙන් සිසුන්ගේ අධ්‍යයන වපසරිය සෛද්ධාන්තික සීමාවලින් ඔබ්බට පුළුල් කරවීමයි. මෙමඟින් ඉංජිනේරු තාක්ෂණයේ සිවිල්, ව්‍යුහාත්මක, භූ තාක්‍ෂණික, ප්‍රවාහන, ජල සම්පත් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව යනාදී සියළු විෂය ක්ෂේත්‍රයන්ට අදාල නව ඉංජිනේරු තාක්ෂණික විසඳුම් සහ නවෝත්පාදන, ව්‍යවහාරික ගැටළු නිරාකරණයට ප්‍රායෝගිකව යොදාගතහැකි ආකාරය පිළිබඳ, රාජ්‍ය අංශ, පර්යේෂණ ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ඉංජිනේරු සමාගම්, ශාස්ත්‍රීය ප්‍රවීනයන් යන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සිසුන්ට අදහස් හුවමරු කරගැනීමට වේදිකාවක් සපයනු ලබයි.

මෙවර සම්මන්ත්‍රණයේදී ද උපාධි අපේක්ෂකයින් පෝස්ටර් ප්‍රදර්ශන, වාචික ඉදිරිපත් කිරීම් සහ ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන ඇසුරින් විවිධ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි තම විද්‍යාත්මක සොයාගැනීම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. වැඩසටහනේ උද්වේගකරම අංගය වූයේ සිසුන් විසින් තම පර්යේෂණ ව්‍යාපෘතිවල සංක්ෂිප්තය, කර්මාන්ත ක්ෂේත්‍රයට ගලපාගන්නා ආකාරය මිනිත්තු දෙකක් ඇතුලත පෙන්වා දෙමින් ඉදිරිපත් කල ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් සමූහයයි. මෙම ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් මඟින් සෛද්ධාන්තික ඉංජිනේරු යෙදවුම් සැබෑ ප්‍රායෝගික අවශ්‍යතා සමඟ පෙළගැසෙන අයුරු තම පර්යේෂණ තුලින් ඉස්මතු කිරීමට සිසුන්ට අවස්ථාව ලැබුනු අතර ඒ හරහා සිසුන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර අර්ථවත් සංවාදයකට මග පෑදීය.

ටෝකියෝ සිමෙන්ති සමූහය මෙවර කර්මාන්ත-විශ්ව විද්‍යාල සහයෝගීතා දිනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වීමෙන් වසර ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය සමඟ පවත්වාගෙන එන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කිරීමට සමත්වූහ. 

මෙම හවුල්කාරිත්වය හරහා ව්‍යවහාරික පර්යේෂණ දැනුමින් සන්නද්ධ අනාගත ඉංජිනේරුවන් කර්මාන්ත ලොව ජයගැනීමට දිරිමත් කරවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අපේක්ෂාව විය. තවද, විවිධ කාණ්ඩ වල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව විශ්ලේෂණය කිරීම සහ භාවිතයේ පවතින කොන්ක්‍රීට් ව්‍යුහයන්ගේ ශක්තිය මැනබලන (Non-Destructive Testing) අධිතාක්ෂණික පර්යේෂණ පහසුකම් සහිත ටෝකියෝ සිමෙන්ති සමූහයේ ISO 17025 සහතික ලත් ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය (Construction Research Centre) විසින් ගොඩනැගිලි කර්මාන්තයට ලබාදෙන සේවය පිළිබඳ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමද මෙම සම්මන්ත්‍රණයේ දී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය පාරිසරික වගකීම සුරකින තිරසාර ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට හඳුන්වා දී ඇති උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තරුණ ඉංජිනේරු වෘත්තිකයන් සහ ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැනුවත් කිරීමටද මෙය අවස්ථාවක් විය.

අධ්‍යයන විශිෂ්ටත්වයෙන් රටේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක අගය එකතු කළ නිපැයුම් සන්නාම රැසක නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය එකමුතුවෙන් පැවැත්වුනු මෙම විද්වත් හමුව, අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තබන ලද සුවිශේෂී පියවරකි. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිශානතිය හසුරුවන විශේෂඥයන්, හැකියාවෙන් සහ දැනුමින් සන්නද්ධ කරවීම අරමුණු කරගත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ බලාපොරොත්තුවයි. මෙම ප්‍රයත්නය වැනි රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් සමූහයක් ඇසුරින් අපගේ දේශීය ආර්ථිකය පොහොසත් කිරීමට ශක්තිය ලබාදෙමින්, දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දීඇති පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.-


Share with your friend