ගෝලීය සාගර ගිවිසුමට අත්සන් තැබීමට දකුණු ආසියානු රටවල් පෙරමුණ ගනියි

Share with your friend

1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලදුව, වසරක් පාසා පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම, කලාපීය රාජ්‍ය නායකයින් ඇතුළුව විවිධ රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙවරත් අභිමානවත් අන්දමින් කොළඹ දී පැවැත්වේ. මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන්නේ, ගෝලීය සාගර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දකුණු අසියානු කලාපයේ රටවල් පෙරමුණ ගන්නා අතර, ශ්‍රී ලංකාවද ඒ සඳහා වන පළමු පියවර සාර්ථකව තබා ඇති අතරවාරයේය. ගෝලීය සාගර ගිවිසුමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාව ඒ සම්බන්ධව තැබූ පළමු සාර්ථක පියවරයි. එලෙස  කැබිනට් අනුමැතිය හිමි වීමේ කාරණය සමරන අතරතුර, ඒ වෙනුවෙන් කටයුතු කරන දකුණු ආසියානු කලාපයේ නායකයින්ට ප්‍රශංසාත්මක පණිවිඩයක් ලබාදීමට, ගිවිසුම සඳහා කලා‌පීය නායකයින් උනන්දු කරවන Greenpeace South Asia සංවිධානය කටයුතු කරයි. ඒ, South Asia: Lead on Ocean Treaty!” යනුවෙන් සටහන් බැනරයක් කොළඹ තරු පන්තියේ හෝටල් ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කරමිනි. මහ මහුදේ මහා පරිමාණ සංරක්ෂණ කලාප බිහි කිරීමට ඉඩකඩ සලසන ගෝලීය සාගර ගිවිසුම [1] ක්‍රියාත්මක කිරීමට ලොව අනෙකුත් රටවල් අභිභවා කටයුතු කරන දකුණු ආසියානු කලාපයේ නායකයින් වෙත ප්‍රශාංසාව පළ කිරීම එහි අරමුණයි.

දකුණු ආසියානු කලාප‌යේ බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් දෙකම සාගර ආරක්ෂණය සම්බන්ධ මෙම නව ගිවිසුමට 2024 වසරේදි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී අත්සන් තබන ලදී. මෙම ගිවිසුම මීට ප්‍රථම හැඳින්වුණේ, දේශීය අධිකරණ බල ප්‍රදේශයෙන් ඔබ්බෙන් වන ප්‍රදේශයේ ජෙව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ) ලෙසිනි. ඉන්දියාවද, ඊට අත්සන් තබන බවට එම වසරේම තහවුරු කර ඇති අතර, නේපාලය පෙර වසරේදීම ඊට අත්සන් තබන ලද රටකි. අපේ කලාපයේ, දේශීය අධිකරණ බල ප්‍රදේශයෙන් ඔබ්බෙන් වන ප්‍රදේශයේ ජෙව විවිධත්වය සුරැකීමට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙමින්, ඉකුත් දෙසැම්බර් මස මෙම ගිවිසුම [2] අනුමත කර අත්සන් තබන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දෙනු ලැබිණි. “මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පියවරට එළඹෙමින්, බෙංගාල බොක්ක කලාපයේ රටවල් මහ මුහුදෙහි ජෛව විවිධත්වය ආරක්ෂා කරමින්, දේශගුණික අභියෝගවලට එරෙහිව සටන් වැදිම සඳහා දක්වන නිර්භීත ඉදිරිගාමී නායකත්වය පිළිබිඹු කිරීමට සමත්ව තිබෙනවා. මේ රටවල නායකයින්ගේ එම කැපවීම, තමන්ගේ රටේ ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට ගත් පියවරක් පමණක් නොවෙයි. එය අනාගත පරපුරේ හිතසුව පිණිස, ඔවුන්ගේ  තිරසර අනාගතය වෙනුවෙන්  ගන්නා ලද පියවරක්.” Greenpeace South Asia සංවිධානයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරිනී අනීතා පෙරේරා මහත්මිය පවසයි. 

පෘථිවි ගෝලයෙන් වැඩිම ජෛව විවිධත්වය මෙන්ම, ඉහළම කාබන් විමෝචන හැකියාවද පවතින්නේ, පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක ප්‍රතිශතයක් වසා පැතිරෙන සාගරවලය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින වැඩිවන පෘථිවි ගෝලයේ අධික තාපයෙන් 90% ක ප්‍රතිශතයක් උරාගනු ලබන්නේද සාගර මගිනි. අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් වන අධික ලෙස මසුන් ඇල්ලීම, කැණීම් කටයුතු, සාගර දූෂණය ආදිය මෙන්ම, අම්ලකරණය සහ මුහුදු ජලය වාර්තාගත අන්දමින් ඉහළ යාම වැනි කරුණු අදවන විට සාගරවල පැවැත්මට බරපතල තර්ජනයක් වී ති‌බේ. එලෙස තර්ජනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසින්, කොරල්පර විරංජනය, මුහුදු ජීවින්ගේ ව්‍යාප්තියේ වෙනස්කම්, අයිස්පර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම පමණක් නොව, ආන්තික කාලගුණ සිදුවීම්ද (Extreme weather events) ඇති වේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් සාගරය මගින් අවශෝෂණය කරගැනිමේ හැකියාව අඩපණ වීමෙන් මෙම තත්ත්වය [3] තවත් දරුණු අතට හැරේ. මෙම තත්ත්වයට විසඳුමක් ලෙසින්  ක්‍රියාවට නැංවීමට නියමිත ගෝලීය සාගර ගිවිසුම මගින් සිදු‌කෙරෙන්නේ, ජෛව විවිධත්ව පද්ධතියෙහි ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවමින්, මහ මුහදෙහි ප්‍රධාන ජෛව විවිධත්ව පද්ධති පිහිටි ප්‍රදේශ ඇතුළත් වන පරිදි සංරක්ෂණ කලාප නම් කිරීමයි. ඒ අනුව, 2030 වසර වන විට මහ මුහුදෙන් 30% ක ප්‍රතිශතයක් ආරක්ෂා කරගැනීම අපේක්ෂාවයි. 

 “සාගර, මිනිසුන්ගේ ජීවනෝපාය සහ ඔවුන්ගේ ආහාර සම්බන්ධ ස්වෛරීභාවය සඳහා බලපාන වැදගත් සාධකයක්. දකුණු ආසියාවේ වගේම අනෙකුත් කලාපවල අද වන විට බහුල වශයෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ ආන්තික කාලගුණික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස සුළි සුළං, තාප තරංග, නියඟ, ගංවතුර සහ නායයෑම්වලවලට මුහුණ දීමට සිදුවෙනවා. මේ, මිනිසුන් මුහුණ දෙන අහිතකර ප්‍රතිවිපාකවලින් කිහිපයක් පමණයි. මේවායේ භයානකකම අවම කිරීමට හැකියාව පවතින්නේ සාගරවලටයි. ඒ නිසා, ෆොසිල ඉන්ධන විමෝචනය මැඩලීමටත්, අපගේ හොඳම දේශගුණික මිත්‍රයා ලෙසින් සාගරය ආරක්ෂා කිරීමටත්, හොඳම  කාලය දැන් එළඹ තිබෙනවා. Greenpeace South Asia සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ – වැඩසටහන්, අවිනාශ් චංචල් කුමාර් මහතා පවසයි.

“ශ්‍රී ලංකාව ජාතික නිදහස් දිනය සමරන මෙම කාල පරිච්ඡේදය තුළ, අපගේ රජයන් විසින් සාගර ආරක්ෂණය සම්බන්ධයෙන් මෑතකාලයේ ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අපි ඉතා ඉහළින් අගය කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, කෙටි කාලීන වශයෙන් සාර්ථකව බලපාන ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා, ගෝලීය සාගර ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධ සියලු කටයුතු, 2025 ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව පැවැත්වෙන කාලය වන විට, සිදුකර අවසන් කරන ලෙසයි.” අනීතා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පවසයි.



Share with your friend