ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී සභාපති ධූරයට අනිකා සේනානායක පත් වේ.

Share with your friend

2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි, ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී නව සභාපතිනිය ලෙසට අනිකා සේනානායක පත් වී තිබේ.

විදුලි සංදේශ, ගබඩා සහ සැපයුම්, මාධ්‍ය සහ ගුවන් විදුලි, මෝටර් වාහන, ගුවන් සේවා, ආහාර පාන සැකසීම සහ ඇසුරුම්කරණය ඇතුළු අංශයන් සහිත විවිධාංගීකරණයක් සහිත ව්‍යාපාර සමූහයක් වන IWS Holdings සමූහ ව්‍යාපාරයේ වසර 15 ක පුළුල් අත්දැකීම් සමුදායක් සහිත අනිකා, ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙත අනුපමේය නායකත්වයක් ලබා දෙන්නට නියමිතය. සංස්ථාපිත සැලසුම්කරණය සහ උපාය මාර්ගික සංවර්ධනය සම්බන්ධයෙන් ඇයට තිබෙන පුළුල් පරාසයක පැතිරුණු ප්‍රවීණත්වය, සමාගමේ මීලඟ සංවර්ධන අදියරේ මග පෙන්වීම සඳහා අති වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. 

MS. ANNIKA SENANAYAKE

සමාගමේ සභාපතිනිය ලෙස අනිකා භාරගනු ලැබූ නව භූමිකාව තුළ, සමාගමේ නායකත්වය තවත් ශක්තිමත් කරමින්, ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙත දූරදර්ශී භාවයෙන් යුතු දැක්මක් ගෙන ඒමට ඇය සූදානමින් සිටී. සංකීර්ණ, බහුවිධ ව්‍යාපාර කළමනාකරණය කිරීමෙහි ලා ඇය සනාථ කොට පෙන්වා ඇති ඇගේ හැකියාව, ශ්‍රී ලංකාවේ තරඟකාරී රක්‍ෂණ වෙළෙඳපොළ තුළ වන සිය සළකුණ තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙත උපාය මාර්ගික මඟ පෙන්වීමක් සහ සහායක් සපයනු ඇත.

මේ වන විට අනිකා සේනානායක, සීමාසහිත IWS Holdings (පුද්.) සමාගම, සීමාසහිත RAD Productions (පුද්.) සමාගම, RAD Productions USA LLC, සීමාසහිත Ceylon Natural Rubber (පුද්.) සමාගම, සීමාසහිත Scan Furniture (පුද්.) සමාගම යන සමාගම් වල අධ්‍යක්ෂවරියක් ලෙසට සේවය කරන අතර, ඇය ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ, තරුණ අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ කමිටු සාමාජිකාවක් ලෙසටද සේවය ලබාදේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇගේ පුළුල් පසුබිමට ඇය මින් පෙර දැරූ සැලකිල්ලට බඳුන් විය යුතු භූමිකාවන් ද ඇතුළත් වේ. 2020 වසරේ විශ්‍රාම යන තුරුම Sampath Bank PLC හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කිරීමත් ART Television Broadcasting Co. හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කිරීමත් ඊට නිදසුන් වේ. අනිකා සේනානායක විවිධ වූ අංශයන් තුළ විවිධ තලයන් හි දරා ඇති නායකත්ව තනතුරු ඔස්සේ ඇය ලබා ගෙන ඇති අත්දැකීම් සමුදාය, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි අඛණ්ඩ සාර්ථකත්වය සඳහා අගනා දැක්මක් මෙන්ම උපාය මාර්ගික මඟ පෙන්වීමක් ලබා දීමට ඇයට ඉඩහසර සකසා දෙනු ඇත.

ඇයගේ නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී විධායක නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් මෙසේ පැවසීය: “අපගේ නව සභාපතිනිය ලෙසට අනිකා සේනානායකව ජනශක්ති රක්‍ෂණ පවුල තුළට පිළිගැනීමට ලැබීම ගැන මම සතුටු වනවා. ඇයගේ සුවිශේෂී නායකත්ව අත්දැකීම් සහ, විවිධ ක්ෂේත්‍රයන් තුළ ඇය අත්පත් කොට ගෙන ඇති කුසලතාවයන්, අප සමාගමේ අනාගත වර්ධනයේ සිතියම ඔස්සේ ඉදිරියට යෑමේදී අමිල සහායක් වනු ඇත.  අනිකාගේ උපාය මාර්ගික දැක්ම සහ ව්‍යාපාර ගතිකයන් පිළිබඳව ඈ තුළ පවතින ගැඹුරු අවබෝධය, ජනශක්ති ඉන්ෂුවරන්ස් සන්නාමය වෙළඳපොල තුළ තවත් සවිබල ගැන්වීමට දායක වනු නොඅනුමානය. අපගේ ජනශක්ති ඉන්ෂුවරන්ස් පවුල වෙනුවෙන් මම ඇයට සුබ පතනවා.”

ජනශක්ති ඉන්ෂුවරන්ස් නව සභාපතිනිය අනිකා සේනානායක මෙසේ පැවසුවාය: “දශක තුනකට වැඩි කාලයක් පුරා රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙසින්, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ට උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී හි සභාපතිනිය ලෙස කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මනා කැපවීමකින් යුතු කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමට මට ලැබුණු මෙම අවස්ථාව සම්බන්ධයෙන් මම කෘතඥ වන අතර, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි උපාය මාර්ගික දැක්ම ඉදිරියට ගෙන යමින්, නව සාර්ථකත්වයන් අත් පත් කර ගැනීමට අපි කැපවෙනවා.”

ජනශක්ති ඉන්ෂුවරන්ස් හි නව සභාපතිනිය ලෙස අනිකා සේනානායකගේ පත්වීම, එතෙක් මෙතෙක් සමාගම මෙහෙයවූ කීර්තිමත් නායකත්වයන් පෙළක වර්තමානය සනිටුහන් කරයි. ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම මින් පෙර, දේශමාන්‍ය නිශ්ශංක විජේවර්ධන, ඩබ්ලිව්.ටී. එල්ලාවල, හුසේන් එසුෆලි සහ ජනාධිපති නීතිඥ අනිල් තිත්තවෙල වැනි ගෞරවනීයයන් විසින් මෙහෙයවනු ලැබ ඇත. මෙම අග්‍රගණ්‍ය නායකත්වයන් පෙළ අඛණ්ඩව පවත්වා ගැනීම, සමාගමේ ස්ථාවරත්වය සඳහා ශක්තිමත් පදනමක් සපයන අතරම, අනිකා සේනානායකගේ නවමු, දූරදර්ශී ප්‍රවේශය, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි අනාගතය සම්බන්ධයෙන් ජවසම්පන්න, ඉදිරි දැක්මක් සහතික කරනු ඇත.

මෙතෙක් ජනශක්ති ඉන්ෂුවරන්ස් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රකාශ් ෂාෆ්ටර්, අනිකා නව සභාපතිනිය ලෙසින් මෙම නව තනතුරට පය තැබීමේදී, සුමට භූමිකා මාරුවීමක් සහ අඛණ්ඩ උපායමාර්ගික අධීක්ෂණයක් සහතික කරමින්, විධායක නියෝජ්‍ය සභාපති ලෙසට දිගටම සමාගම තුළ රැඳී සිටිනු ඇත. ඇයගේ පුළුල් පළපුරුද්ද සහ ප්‍රබල නායකත්ව කුසලතාවයන් සමඟින්, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ට උරුමය ඉදිරියට ගෙන යමින්, අනිකා සේනානායක, ජනශක්ති ඉන්ෂුවරන්ස් එහි මීළඟ අදියරට ගෙන යාමට සූදානමින් සිටී.

ජනශක්ති ඉන්ෂුවරන්ස්  පී.එල්.සී  ගැන

ජීවිත රක්ෂණ සමාගමක් ලෙසට 1994 වසරේදී ආරම්භ කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී (ජනශක්ති ලයිෆ්), වසර 30 කට ආසන්න කාලයක් පුරාවටම නවෝත්පාදනීය සේවා සපයන්නෙකු සහ දොරින් දොර හුරුපුරුදු නාමයක් ලෙසට රක්ෂණ කර්මාන්තය තුළ සිය සලකුණ තබා තිබේ. ශාඛා 75කට අධිකව පැතිර ගිය ජාලයකින් සහ ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ලෙසින් සිය සන්නාමය පිහිටුවා  තිබේ. “ජීවිත නඟා සිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යනුවෙන් වන ජනශක්ති ලයිෆ් අරමුණට අනුකූල වෙමින්, ඔවුන් සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් එපිටට ගිය සේවාවක් ලබා දෙමින් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වීමට ඇපකැපවී සිටී. ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශයන් තුළ ක්‍රියාත්මක වන, ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු වේ.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය, අනිකා සේනානායක, ප්‍රකාශ් ෂාෆ්ටර්, රවී ලියනගේ, රමේෂ් ෂාෆ්ටර්, වරිනි ද කොස්තා, සිවක්‍රිෂ්ණරාජා රෙන්ගනාදන්, ආචාර්ය නිෂාන් ද මෙල්, ආචාර්ය ගෙහාන් ගුණතිලක සහ දිලිප් ද එස්. විජයරත්න යන අයගෙන් සැදී තිබේ.


Share with your friend