නීතිවිරෝධී සංක්‍රමණ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කළ “Zero Chance”  සම්මාන උළෙලේදී සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයේ

Share with your friend

නීතිවිරෝධී ඕස්ට්‍රේලියානු සංක්‍රමණවල අවදානම් තත්වයන් පිළිබඳ පාසල් සිසු සිසුවියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද “Zero Chance” සිතුවම් හා රචනා තරගාවලියේ සම්මාන උළෙල අඛණ්ඩව තෙවන වරටත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සිතුවම් සහ රචනා නිර්මාණ ඔස්සේ ශ්‍රී ලාංකික සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය.

නීති විරෝධී මුහුදු මාර්ග සංක්‍රමණය ආශ්‍රිත අවදානම් තත්වය පිළිබඳ සිසුන් සතු අවබෝධය නිර්මාණාත්මක ලෙස ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් දිරි ගන්වන ලද මෙම තරගාවලිය මෙවර දියත් කරන ලද්දේ “බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට ගමන් කිරීමට උත්සහ කිරීම අනුවණ ක්‍රියාවකි” යන තේමාව මුල් කරගනිමිනි. ඕස්ට්‍රේලියානු රජයේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මැයි මස 19 වැනි දා සිට ජූලි 17 වැනි දා දක්වා පැවැත්විණි.

මෙවර තරගාවලිය සඳහා දිස්ත්‍රික්ක 20ක පාසල් 42ක් නියෝජනය කරමින් චිත්‍ර නිර්මාණ 1170ක් සහ රචනා නිර්මාණ 1762ක් ඇතුළුව සමස්ත නිර්මාණ 2932ක විශාල ප්‍රමාණයක් යොමු කර තිබුණි. සිසුන් 199 දෙනෙකු මෙම විවිධ තරග කාණ්ඩයන්ගේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ජයග්‍රහණය කළ අතර සිසුන් 60 දෙනෙකු සිව්වන සහ පස්වන ස්ථාන ජයග්‍රහණය කරමින් සහතික පත් දිනා ගත්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, මැතිව් ඩක්වර්ත් ( Mathew Duckworth ) මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මීට වසර 13කට පෙර හමුදාව විසින් මෙහෙයවන ‘ස්වෛරී දේශසීමා මෙහෙයුම’ (Operation Sovereign Borders) දේශසීමා ආරක්ෂක මෙහෙයුම ස්ථාපිත කරන ලද්දේ ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂා කිරීම, කලාපයේ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සහ විශේෂයෙන්ම මුහුදු සංක්‍රමණයන්වලදී මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක්වීම වැළැක්වීම යන අරමුණු වෙනුවෙනි. එතැන් පටන් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුළු වූ සෑම ශ්‍රී ලාංකික මිනිස් ජාවාරම් බෝට්ටුවක්ම නවතමින් එහි සිටි සියලු දෙනා ශ්‍රී ලංකාවට නැවත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි භයානක මුහුදු සංක්‍රමණවල අවදානම පිළිබඳ මිනිසුන් දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබා දීම සහ එම තත්වයන් වළක්වාලීම වෙනුවෙන් නිර්මාණය කළ “Zero Chance’’උපායමාර්ගික සන්නිවේදන ව්‍යාපාරය මෙම මෙහෙයුම්වල සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින් ඉවහල් වුණා. විශිෂ්ට ලේඛකයන් සහ කලාකරුවන් ලෙස විශාල ජන පිරිසක් වෙත වටිනා පණිවිඩයක් ඉදිරිපත් කිරීමට සිසු දරුවන් උත්සහ කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය සහ ජීවන අවදානමට ලක් කිරීම වැළැක්වීමට ද ඔවුන් දායක වී තිබෙනවා’’.

මෙම තරගාවකියේ නිර්මාණ ඇගයීමේ කටයුතු අධ්‍යාපනය අමාත්‍යංශය විසින් පත් කරන ලද විනිශ්චය මඩුල්ලක් විසින් සිදු කළ අතර 9-11 ශ්‍රේණි සහ 2-13 ශ්‍රේණි ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ නිර්මාණ ඇගයීම සිදු කෙරුණි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝජිත, අධ්‍යාපන අධ්‍යක්ෂ වරුණ අලහකෝන් මහතා සිය අදහස් එකතු කළේ මෙසේය. “ Zero Chance ’’තරගාවලියේ සාර්ථකත්වය සැමරීම සඳහා මෙම අවස්ථාවට එක්වීමට ලැබීම මහත් ගෞරවයක්. විශිෂ්ට විභාග ප්‍රතිඵල ලබාගැනීම පමණක් නොව අපේ සිසු දරුවන් සෑම අංශයකින්ම වර්ධන වෙමින් තර්කානුකූලව සිතීමට සහ අවට ලෝකය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට ද මෙහෙයවීම කෙරෙහි ද අපගේ අමාත්‍යංශයේ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවා. අද අප අගයන මෙම රචනා නිර්මාණ සහ කලා නිර්මාණ තුළින් ඉස්මතු වන්නේ අපගේ අනාගත නායකයන්ගේ හඬයි. සංකීර්ණ ගැටලු අවබෝධ කර ගැනීමටත්, සරල දැනුම සැබෑ ක්‍රියාවක් බවට පත් කිරීමටත් කලාව සහ සාහිත්‍යය බලවත් මෙවලමක් වන බව මේ ඔස්සේ සනාථ කරනවා. මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට මෙන්ම මේ සඳහා සහභාගී වූ සියලු දක්ෂ සිසු සිසුවියන්ට අපගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමවා. මෙය තවත් එක් ජයග්‍රාහණයක් පමණක් නොවේ. අදහස් ප්‍රකාශ කරමින් හඬ නැගීමට ඔබ සතුව ඇති ධෛර්යය එමඟින් මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙම මාතෘකාව ගවේෂණය කිරීම සඳහා ඔබගේ නිර්මාණශීලීත්වය ඉවහල් කර ගැනීම වැදගත් ජයග්‍රහණයක්’’.

මෙහිදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුත් සහතික පත් ජයග්‍රාහී සිසුන් වෙත පිරිනමන ලදී. එමෙන්ම සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක හා තාක්ෂණික කුසලතා තවදුරටත් ඉහළ නංවාලීම වෙනුවෙන් පුහුණු ශිෂ්‍යත්ව ද මෙහිදී ප්‍රදානය කෙරිණි. “ Zero Chance ’’ ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් ලෙස අඛණ්ඩව දියත් කරන මෙම රචනා හා සිතුවම් තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාව තවදුරටත් සවිමත් කරයි. විශේෂයෙන්ම මේ ඔස්සේ ඕස්ට්‍රේලියාව වෙත නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමේ අනතුරුදායක තත්වය පිළිබඳව තරුණ ප්‍රජාව අතර දැනුවත්භාවය ව්‍යාප්ත කරන අතර වැදගත් සංවාද පෝෂණය කරයි.www.australia.gov.au/zerochance වෙත පිවිසීම ඔස්සේ ඕස්ට්‍රේලියාවේ දේශසීමා  ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.


Share with your friend