මෙල්වා සමාගම ප්‍රධාන අනුග්‍රහයෙන් Skill Force සිව්වන අදියර නුවරඑළියේදී සාර්ථකව පැවැත්වේ

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ කම්බි නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් දියත් වන, දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන Skill Force වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා නුවරඑළිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නුවරඑළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තරුණ තරුණියෝ 3000කට ආසන්න පිරිසක් සහභාගී වූහ. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසුව කුමන රැකියාවක් සඳහා යොමු වන්නේද යන තීරණය ගැනීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට මෙම Skill Force වැඩසටහන තුළින් ඉතා වටිනා මඟ පෙන්වීමක් ලැබේ. ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා මෙම තරුණ තරුණියන්ව යොමු කර ඔවුන්ට NVQ සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම Skill Force වැඩසටහනෙන් සිදු කරයි. දේශීය සමාගමක් වන මෙල්වා සමාගම මෙම සත්කාරය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ කුසලතා සපිරි තරුණ ශ්‍රම බලකායක් මෙරට ආර්ථිකයට එකතු කිරීමේ අරමුණෙන්ය. ඉහළ වැටුප් සහිත දෙස් විදෙස් රැකියාවලට යොමු වීමට මෙම වෘත්තීය සුදුසුකම් ප්‍රමුඛ හේතුවක් වේ.

මීට සමගාමීව මෙල්වා සමාගම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වයස අවුරුදු 25ත් 35ත් අතර දක්ෂ පළපුරුදු මේසන් බාස්වරුන්ට සහ වෙල්ඩින්කරුවන්ට NVQ වෘත්තීය සුදුසුකම හිමි කර ගැනීමේ අවස්ථාවද උදා කර දෙයි. තෝරා ගන්නා ලද මේසන් බාස්වරුන් සහ වෙල්ඩින්කරුවන් 40කට ආසන්න පිරිසක් පසුගියදා නුවරඑළියේදී පැවැති වැඩසටහනට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයන්ගෙන් සංතෘප්ත කිරීමට මෙල්වා සමාගම දරන මෙම ප්‍රයත්නය තුළින් දේශීය ආර්ථිකයේ ප්‍රගමනයටද සුවිශේෂ දායකත්වයක් සැපයේ. මෙල්වා සමාගමේ සන්නාම කළමණාකරු ගයන්ත මධුමාධව මහතා සහ ප්‍රවර්ධන ප්‍රධානී හර්ෂණ රන්කොත් මහතා මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූහ. මීට පෙර මෙම වැඩසටහන කොළඹ, ගම්පහ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පැවැත්වුණු අතර ඉදිරියේදී කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply