සෙලාන් බැංකුව 2025 තෙවන කාර්තුව වන විට රු. බිලියන 8.33 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

Share with your friend

  • ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 12,809 දක්වා 20.75% කින් ඉහළට 
  • බදු පසු ලාභය රු. මිලියන 8,327දක්වා 26.30% කින් ඉහළට 
  • හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 15.08% 
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 18.34% 
  • හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% 

2025 වර්ෂයේ තෙවන කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 10,608 ට සාපේක්ෂව 20.75% ක වර්ධනයකි. 

2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලය සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 8,327 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 6,593 ට සාපේක්ෂව 26.30% ක වර්ධනයකි. 

මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය 

2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශුද්ධ පොලී ආදායම රු. මිලියන 27,262 සිට රු. මිලියන 27,057 දක්වා 0.75% කින්  පහළ ගොස් ඇති අතර, වෙළඳපොළේ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය කිරීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ 4.90% ට සාපේක්ෂව 2025 වසරේ තෙවන කාර්තුවේදී 4.48% දක්වා පහළ ගොස් තිබේ. 2025 තෙවන කාර්තුව වන විට බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම රු. මිලියන 5,829 සිට රු. මිලියන 6,761 දක්වා 15.99% කින් වර්ධනය වී ඇති අතර, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවා සහ අනෙකුත් මූල්‍ය සේවා මගින් ලැබුණු ගාස්තු ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2024 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 34,264 ට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී 2.57% කින් ඉහළ ගොස් රු. මිලියන 35,146 ක් ලෙස වාර්තා වී තිබේ. ගාස්තු පදනම් කරගත් ආදායම් සහ වෙනත් මෙහෙයුම් ආදායම් ඉහළ යාම  මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 

සමස්ත මෙහෙයුම් පිරිවැය 2024 වසරේදී වාර්තා වූ රු. මිලියන 15,674 ට සාපේක්ෂව 2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ රු. මිලියන 17,144 දක්වා 9.38% කින් වර්ධනය වී තිබේ. කාර්ය මණ්ඩලය සම්බන්ධ වියදම් ඉහළ යාම හේතුවෙන් මානව සම්පත් පිරිවැය රු. මිලියන 8,085 සිට රු. මිලියන 8,749 දක්වා 8.21% කින් ඉහළ ගොස් ඇත. අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂය වීම් පිරිවැයද 10.64% කින් ඉහළ ගොස් තිබේ. විවිධ පිරිවැය පාලන ක්‍රමවේදයන් ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී. 

2024 වසරේ තෙවන කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 4,150 ට සාපේක්ෂව 2025 වසරේ බැංකුවේ හානිකරණ වියදම රු. මිලියන 772 දක්වා 81.39% කින් පහළ ගොස් තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ වත්කම් ගුණාත්මකභාව අනුපාත වන හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% ක් වූ අතර (2024 – 2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 සැප්තැම්බර් 30 දින වන විට 83.22% ක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක පැවතිණි. 

ආදායම් බදු පිරිවැය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රු. මිලියන 4,015 ට සාපේක්ෂව 11.64% කින් ඉහළ ගොස් රු. මිලියන 4,482 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවාවන් මත අගය එකතු කළ බද්ද පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 3,365 සිට රු. මිලියන 3,881 දක්වා 15.33% කින් ඉහළ ගොස් තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2025 පළමු මාස 9 තුළ රු. මිලියන 467 සිට රු,. මිලියන 539 දක්වා ඉහළ ගිය අතර මෙය පෙර වසරේ අදාළ කලපරිච්ඡේදයට සාපේක්ෂව  15.33% ක වර්ධනයකි. 

සමස්තයක් ලෙස බැංකුවේ 2025 තෙවන කාර්තුව වන විට බදු පසු ලාභය රු. මිලියන 8,327 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 26.30% ක වර්ධනයකි. 

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2025 වසරේ තෙවන කාර්තුව අවසානයේ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරමින්, පසුගිය මාස 9 ක කාලය තුළ රු. බිලියන 780 සිට රු. බිලියන 853 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවා ගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවාවන් ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. 2025 වසරේ මාස 9 ක කාලය තුළ බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. බිලියන 71 ක ශුද්ධ වර්ධනයක් වාර්තා කරමින් රු. බිලියන 534 ක් ලෙස වාර්තා වී ඇති අතර, තැන්පතු රු. බිලියන 28 ක ශුද්ධ වර්ධනයකින් අනතුරුව රු. බිලියන 675 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 29% ක් විය. 

ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක 2025 සැප්තැම්බර් 30 දින වන විට යහපත් මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පැහැදිලි ලෙසම නියාමන අවශ්‍යතාවන්ට ඉහළින් පැවතිණි. බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) 12.24% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 18.34% ක් විය.  

ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය 317.20% ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 276.57% ක් විය.

බැංකුවේ වත්කම් ගුණාත්මක භාවයේ අනුපාතයන් වන අදියර 3 හානිකරණ ණය අනුපාතය (Impaired Loan Ratio – Stage 3) සහ අදියර 3 හානිකරණ ප්‍රතිපාදන ආවරණ අනුපාතය (Impairment Stage 3 Provision Cover Ratio) පිළිවෙළින් 1.48% (2024 – 2.10%) සහ 83.22% (2024- 80.90%) ක් විය.  

මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ සෙලාන් බැංකුවේ හිම්කම් මත ප්‍රතිලාභය 15.08% (2024 – 15.35%) ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර ලාභය) 2.12% (2024 – 2.14%) ක් විය. 

බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම පෙර වසරේ තෙවන කාර්තුවේදී රු. 10.37 ක් වූ අතර, එය 2025 වසරේ තෙවන කාර්තුවේදී රු. 13.10 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම 2025 සැප්තැම්බර් 30 දින වන විට රු. 122.99 ක් (සමූහයේ රු. 126.33 ක්) විය. 

2025 වසරේ පළමු මාස 9 තුළ සෙලාන් බැංකුව විසින් විවෘත කරන ලද ‘සෙලාන් පැහැසර’ පුස්තකාල සංඛ්‍යාව 20 කි. ඒ අනුව දැන් දිවයින පුරා විවෘත කර ඇති සෙලාන් පැහැසර පුස්තකාල සංඛ්‍යාව 285 ක් බවට පත් වී තිබේ. මෙය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල ගොඩනැංවීම තුළින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි.

ප්‍රාග්ධන ප්‍රමාණතා (Basel III) අනුකූල 2 වන මට්ටමේ ලැයිස්තුගත ශ්‍රේණිගත, සුරැකුම් නැති, යටත්, නිදහස් කළ හැකි, වසර 5 සහ වසර 10 බැගින් වූ ණයකර නිකුතුවක් තුළින් රු. බිලියන 15 ක් රැස්කර ගැනීමට සෙලාන් බැංකුව 2025 ජූලි 09 දින සමත් වූ අතර, මෙම ණයකර නිකුතුවට පළමු දිනයේදීම අධි-දායකත්වයක් ලැබිණි.ෆිච් ශ්‍රේණිගත කිරීම් (Fitch Ratings) මගින් සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පියවර දෙකකින්, එනම් ස්ථාවර ප්‍රතිරූපය (Stable Outlook) සමග ‘A+(lka)’ දක්වා 2025 වර්ෂය තුළ උසස් කරන ලදී.


Share with your friend