උපුල් විජේසිංහ AIA ශ්‍රී ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වෙයි

Share with your friend

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අනුමැතියට යටත්ව 2023 ජනවාරි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස උපුල් විජේසිංහ පත්කරන ලද බව AIA ශ්‍රී ලංකා සමාගම විසින් නිවේදනය කරනු ලැබ ඇත.  දැනට AIA ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම ප්‍රධාන බෙදාහැරීම් නිලධාරියා ලෙසද කටයුතු කරන ඔහු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්ද සහිත පිළිගත් රක්ෂණ වෘත්තිකයෙකි.

Upul Wijesinghe

උපාධිධාරී කළමනාකරණ අභ්‍යාසලාභියකු ලෙස සමාගම සමඟ එක්ව සිය වෘත්තීය ගමන් මඟ ඇරැඹූ ඔහු සමාගම තුළ සිය රැකියා කටයුතු ඔස්සේ ආයතනික හිණිමගෙහි ඉහළට පියවර තැබුවේය. විවිධ මට්ටම්වලදී සාමාන්‍ය කළමනාකරණය මෙන්ම අලෙවි කටයුතු ඇතුළුව ජීවිත හා සාමාන්‍ය රක්ෂණයේ සියලු පැතිකඩ මෙන්ම ප්‍රතිරක්ෂණය, ප්‍රාරක්ෂණය සහ බහුවිධ බෙදාහැරීම් නාළිකා යනාදී තාක්ෂණික අංශද ආවරණය වන පරිදි කටයුතු කළ ඔහු සමාගමෙන් පිරිනමන ලද දේශීය හා ජාත්‍යන්තර පුහුණු අවස්ථාද හිමිකර ගත්තේය. ඔහු කලෙකට පෙර සමාගමේ නිශ්චිත නිලධාරියා සහ ප්‍රධාන නිලධාරියා ලෙස සංස්ථාපිත තනතුරු ද දරා ඇත.    

එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ මාණ්ඩලික සාමාජිකයකු වන ඔහු වරලත් රක්ෂණ වෘත්තිකයෙකුද වෙයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විද්‍යා ගෞරව උපාධියක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආයුගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇත.   

ඔහු වර්ෂ 2001 සිට 2003 වර්ෂය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.  ශ්‍රී ලංකාව සඳහා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ රක්ෂණ නියෝජිත යෝග්‍යතා විභාගය සහ ජාතික රක්ෂණ සමුළුව පිහිටුවීම සම්බන්ධ කටයුතුවලදී ඔහු ඉටුකළ කාර්යභාරය ඉතා සුවිසල්ය. ඒ උදෙසා ඉහළම ගෞරව ප්‍රසාදය දැක්වීම පිණිස, 2015 වසරේදී ඔහු වෙත ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කීර්ති ප්‍රණාම බුහුමන් පිරිනමනු ලැබිණි.

AIA ශ්‍රී ලංකා සමාගමේ අතිසාර්ථක ජීවිත රක්ෂණ නියෝජිත අලෙවි බලකාය සහ එහි විශිෂ්ට ශ්‍රේණියේ මෙහෙයුම් ආකෘතිය දිවයින පුරා ශාඛා 100ක් ඔස්සේ, නියෝජිතයින් 4000කට අධික පිරිසකට මෙන්ම නියෝජිත ප්‍රධානීන් 350ක් වෙත ව්‍යාප්ත කිරීම සදහා ඔහු අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකළේය. AIA සමූහයේ ‘Best Growth CAO Award 2021’ සහ ‘2H Rebound CAO Challenge Category 2020’ ඇතුළු දෙස් විදෙස් සම්මාන ඇගයීම් රැසකින් ඔහු පිදුම් ලබා ඇත. AIA ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඔහු ලද මෙම පත්වීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් එක් සුවිශිෂ්ට සන්ධිස්ථානයකි.

ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සාදරයෙන් පිළිගනිමින්, AIA ශ්‍රී ලංකා සමාගමේ සභාපති ටෑන් හක් ලෙහ් පවසා සිටියේ දේශීය රක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව ඔහු සතු පුළුල් අත්දැකීම් පරාසය සහ අභියෝගාත්මක වටාපිටාවක් තුළ ව්‍යාපාර කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අදාළ නියාමකත්වය සම්බන්ධයෙන් වූ ඔහුගේ නායකත්ව දායකත්වය ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයට බොහෝ වටිනාකම් එක්කිරීමට ඔහු සමත් වනු ඇති බවය. මෙම නව පත්වීම ශ්‍රී ලංකාවේ දේශීය හැකියාවන් පිළිබඳව AIA සමූහය තුළ ඇති විශ්වාසය සහ ඇගයීම මනාව විදහාපාන අවස්ථාවක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.   


Share with your friend