කැන්රිච් ෆිනෑන්ස් වෙතින් CBSL-FIU මාධ්‍ය නිවේදනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්

Share with your friend

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මුල්‍ය බුද්ධි ඒකකය (FIU) පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම ඒකකය විසින් කැන්රිච් ෆිනැන්ස් සමාගම ඇතුළු මුල්‍ය සමාගම් කිහිපයක් හා බැංකු කිහිපයක් සඳහා දඩ නියම කිරීමක් සිදුකරන ලද බවයි. 2006 අංක 06 (FTRA) දරන මුල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනතෙහි විධිවිධානයන්ට අනුකූලව කටයුතු නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන අතර, FIU රීති, රෙගුලාසි හා නියෝග අනුව කටයුතු නොකිරීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ‍යෝජනා (UNSCR) යාවත්කාලීන නොකිරීම මෙන්ම සම්බාධක ලැයිස්තු හා මුල්‍ය ආයතන (නිසි පාරිභෝගික කාර්යශූරතා) රීති නො පිළිපැදීම ඊට හේතු වශයෙන් දක්වා තිබේ.

නියාමන රීති උල්ලංගණයක් සිදුව තිබෙන බව කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් පිළිගනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ‍යෝජනා (UNSCR) සම්බාධක ලැයිස්තු යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සිදුව තිබෙන ප්‍රමාදය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන බව ද විශ්වාස කරයි. FTRA පනතෙහි දැක්වෙන විධිවිධානයන්ට හා FIU නියෝගයන්ට අනුගතව නිවැරදි පද්ධති යාවත්කාලීන කිරීමක් මගින් මෙම අඩුලුහුඬුකම් පරිපූර්ණ වශයෙන්ම නිවැරදි කරන ලද බව සමාගම ප්‍රකාශ කර සිටී. 

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL)/ මුල්‍ය බුද්ධි ඒකකය (FIU) ඇතුළු මුල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නියාමන අධිකාරීන් විසින් පනවා තිබෙන ප්‍රතිපත්ති, නියෝග, මාර්ගෝපදේශ හා රීති මාලාවන්ට පූර්ණ අනුගතව කැන්රිච් ෆිනෑන්ස් සමාගම කටයුතු කරන අතර, ආයතනික යහපාලනය හා ආචාර ධර්ම භාවිතාවන් ප්‍රවර්ධනයට එයින් විශාල සහයෝගයක් ලබා දෙයි. උපරිම සමාජීය වගකීම් සහගතභාවයකින් සෑම විටම කටයුතු කරන කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය පාරිභෝගිකයින්, ගනුදෙනුකරුවන් හා කොටස් හිමිකරුවන් ගේ අභිමතයන් සුරකිමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි ස්ථාවරභාවය හා අඛණ්ඩ පැවැත්ම ගොඩනැංවීමට දායක වෙයි.   


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply