Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලාකෘති වෙන්දේසිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ඓතිහාසික වැඩසටහන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා මනා ආරම්භයක් වනු ඇත.
මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Life හිදී පැවැත්වුණු අතර, එයට කලාකෘති ප්‍රදර්ශනයක්, ශ්‍රී ලාංකික කලාවේ කලාපීය බලපෑම් සම්බන්ධයෙන් Sotheby’s හි අධ්යක්ෂ, විශේෂඥ සහ නූතන හා සමකාලීන දකුණු ආසියානු කලා පිළිබඳ සම-ජාත්‍යන්තර ප්‍රධානී ඉෂ්රත් කන්ගා මහත්මිය විසින් මෙහෙයවන ලද සාකච්ඡාමය වැඩසටහනක් සහ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කලා ශිල්පීන් 35 දෙනෙකුගේ නිර්මාණ 46 ක් ඇතුළත් වූ සමාජ සත්කාරමය වෙන්දේසියක්ද ඇතුළත් විය.
Sotheby’s විසින් සිදුකරන ලද මෙම වෙන්දේසිය, ශ්‍රී ලාංකික කලාකරුවන්ට ජාත්‍යන්තරයෙහි අවධානයට ලක්වීම සඳහා ලැබුණු පෙර නොවූවිරූ අවස්ථාවක් වූ අතර, එය ඔවුන්ට කලා ගෝලීය වෙළඳපොළ සහ කලා නිර්මාණ එකතු කරන්නන් සමග සම්බන්ධ වීම සඳහා ලැබුණු අගනා ආරම්භයක් ලෙසද හැඳින්විය හැකි වේ.
Sotheby’s සමාගමේ දකුණු ආසියානු කලා විශේෂඥයෙකු මෙම වැඩසටහනට දායක වීම, මෙම වැඩසටහන ජාත්‍යන්තර තලයේ වැඩසටහනක් බවට පත්වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. මෙය ශ්‍රී ලාංකීය කලා කුසලතා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවතින උනන්දුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවට මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ.
කලාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන්, දේශීය හා විදේශීය කලාකෘති එකතු කරන්නන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ආයතනික මට්ටමේ නියෝජිතයන් ඇතුළුව දකුණු ආසියාවේ කලා නිර්මාණ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූහ. නැගී එන කලාකෘති එකතු කරන්නන් සහ නවක කලා රසිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සංස්කෘතිකමය වශයෙන් වැදගත් ව්‍යාපෘති කිහිපයකට අරමුදල් සපයා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ විය. මෙම වැඩසටහන් අතරට ගෝතමී විහාරයේ බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීම, ජෝර්ජ් කීට් කලාකරුවාගේ නිර්මාණ නාමාවලියක් සම්පාදනය කිරීම, ඔහුගේ ජීවිතය සහ කලාව පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම සහ ‘කලා පොළ’ හා ‘වසරේ කලාකරුවා’ වැනි වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම ආදිය ඇතුළත් වී ඇත.
මෙම වැඩසටහන මගින් ලද පන්නරය ඔස්සේ ඉදිරියට යමින්, ශ්‍රී ලංකාවේ කලා උරුමය සුරකිමින්, නව කලාකරුවන් පරපුරක් බිහිකිරීමේ මෙහෙවරට අඛණ්ඩව උර දීම ජෝර්ජ් කීට් පදනමේ අරමුණ වී තිබේ.
PPS 2039 – Sotheby හි ඉෂ්රත් කන්ගා වෙන්දේසිය මෙහෙයවමින්
PP 2047(1) – Sotheby හි ඉෂ්රත් කන්ගා වෙන්දේසිය මෙහෙයවමින්
PPS 2073 – ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත වෙන්දේසිය සාර්ථකව අවසන් වීමෙන් පසු ස්තූති කතාව කරමින්