ශ්‍රී ලාංකික කලාකෘති වෙනුවෙන් සුවිශේෂී වෙන්දේසියක් සංවිධානය කරයි
මෙරටදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර කලාකෘති වෙන්දේසිය ශ්‍රී ලාංකික නිර්මාණ ගෝලීය තලයට රැගෙන යාමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
ජෝර්ජ් කීට් පදනම ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් ලොව ප්රමුඛ පෙළේ කලා නිර්මාණ, ආභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ වෙන්දේසි සමාගමක් වන Sotheby International සමග ඓතිහාසික ගිවිසුමකට එළඹීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව Sotheby International සමාගම විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී කලාකෘති වෙන්දේසියක් සිදුකරනු ඇත. සමාජ සත්කාරමය වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙම වෙන්දේසියේදී ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම හා අලෙවි කිරීම සිදුකෙරේ.
මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 7, 8 සහ 9 යන දිනවල කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වෙනු ඇත. මෙය ශ්‍රී ලාංකික කලාකරුවන්ට සිය දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවක් වන අතරම එය ලාංකීය කලා කුසලතා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවතින උනන්දුව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවට මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ.
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ Sotheby සමාගමේ අධ්යක්ෂ, විශේෂඥ සහ නූතන හා සමකාලීන දකුණු ආසියානු කලා පිළිබඳ සම-ජාත්‍යන්තර ප්‍රධානී ඉෂ්රත් කන්ගා මහත්මිය විසිනි. මෙහි සමාරම්භක ඉසව්ව දෙසැම්බර් 07 දින පැවැත්වෙන අතර, ඉන් අනතුරුව දෙසැම්බර් 8 දින ඉෂ්රත් කන්ගා මහත්මිය සහභාගී වන විශේෂ සංවාදමය සැසියක් පැවැත්වෙනු ඇත. මෙම සැසියේදී කන්ගා මහත්මිය විසින් නවක ශ්‍රී ලාංකික කලාකරුවන්ට සහ කලා සිසුන්ට තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ රුචි අරුචිකම් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබා දෙනු ඇත. උත්සවයට සහභාගී වීම සඳහා ගාස්තුවක් අය නොකෙරෙන නමුත් ඒ සඳහා කල්තබා ලියාපදිංචි විය යුතු ය.
එදින සන්ධ්‍යාවේ පැවැත්වෙන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකදී කන්ගා මහත්මිය විසින් ආයෝජන/වත්කම් වර්ගයක් ලෙස කලාව වර්ධනය කිරීමේ සහ නිර්මාණාත්මක ආර්ථිකයක් ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳ අදහස් දැක්වීමක් සිදුකරනු ඇත. ප්‍රධාන වෙන්දේසිය දෙසැම්බර් 09 දින පැවැත්වෙන අතර, එය ජෝර්ජ් කීට් පදනමේ මෙහෙවරට අත්වැලක් වීමට කැමති ආයෝජකයන්, කලා නිර්මාණ එකතු කරන්නන් සහ කලාව පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් පුද්ගලයන් සහභාගී වන සුවිශේෂී ඉසව්වක් වනු ඇත.
සමාජ සත්කාරයක් වශයෙන් සිදුකරනු ලබන මෙම වෙන්දේසියේදී ලාංකික කලාකරුවන්ගේ කලාකෘති අතරින් ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද නිර්මාණ 40 ක් වෙන්දේසි කිරීමට නියමිත ය. මෙය ජෝර්ජ් කීට් පදනම ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වලට අත්වැලක් වන අතරම විශිෂ්ට කලාකෘති එකතුවක් තමන් සතු කර ගැනීම සඳහා, කලා නිර්මාණ එකතු කරන්නන් ඇතුළුව පොදුවේ කලාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් හට ලැබෙන අගනා අවස්ථාවකි.
මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන්නේ ජෝර්ජ් කීට් පදනම මගින් ආරම්භ කර ඇති වැඩසටහන්වලට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීම ය. මෙම වැඩසටහන් අතරට ගෝතමී විහාරයේ බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීම, ජෝර්ජ් කීට් කලාකරුවාගේ නිර්මාණ නාමාවලියක් සම්පාදනය කිරීම, ඔහුගේ ජීවිතය සහ කලාව පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම සහ ‘කලා පොළ’ හා ‘වසරේ කලාකරුවා’ වැනි වැඩසටහන් ආදිය ඇතුළත් වී ඇත.
“මෙම වෙන්දේසිය ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. අප මේ ආකාරයට Sotheby සමග අත්වැල් බැඳගැනීම නිසා දේශීය කලාකරුවන්ට තම හැකියාවන් ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීම් සඳහා අගනා අවස්ථාවක් හිමි වී තිබෙනවා. මෙය හුදෙක් ශ්‍රී ලාංකීය කලාව ඇගයීමක් පමණක් නොව, රටේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සඳහා ලබාදෙන අර්ථවත් දායකත්වයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් ජෝර්ජ් කීට් නාමයට ගෞරව කරමින්, ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රය ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට විවෘත ස්ථානයක් බවට පත් කිරීම සඳහා ජෝර්ජ් කීට් පදනම කැප වී සිටිනවා.” ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා පැවසී ය.
මෙම වැඩසටහනේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස සිනමන් ලයිෆ්ද, සම-අනුග්‍රාහක ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුවද කටයුතු කරයි. එමෙන්ම Colombo Jewellery Stores, MA Lanka, Rockland සහ Calcey යන සමාගම්ද මෙම සමාජ සත්කාරමය වැඩසටහනට සහය දීමට ඉදිරිපත් වී සිටී.
වැඩසටහන සඳහා ලියාපදිංචි වන ආකාරය ඇතුළුව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා info@georgekeytfoundation.com ඊමේල් ලිපිනය ඔස්සේ විමසන්න.