තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 06 දින ටාජ් සමුද්‍රා හෝටලයේ Grand Marquee හිදී පැවැත්විණි. මෙම රැස්වීම මෙරට තේ කර්මාන්තයේ වාර්ෂික ඉසව් අතරම ප්‍රමුඛතම ඉසව්වක් ලෙස සැලකේ. මෙවර මෙම රැස්වීමට තේ කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන සංවත්සරය සැමරීමට අමතරව, එම සංගමය මෙරට තේ කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කරන ලද අතර, ගෝලීය අභියෝගවල සාර්ථක ලෙස මුහුණ දෙමින් ඉදිරියට යාමට එම කර්මාන්තය සමත් වී ඇති ආකාරය පිළිබඳවද සාකච්ඡා කරන ලදි.
තේ කර්මාන්තය තුළ තිරසාර ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමය දරන උත්සාහය නිරූපණය කළ “Steeping Sustainably – Growing Tea Exports Responsibly” යන තේමාව යටතේ රැස්වීම පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ දේශීය කළමනාකරු ගෙවෝර්ග් සාර්ග්සයින් මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
1999 වසරේදී ආරම්භ වූ තේ අපනයනකරුවන්ගේ සංගමය මෙරට තේ අපනයනකරුවන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංගමය ලෙස සැලකේ. එය ප්‍රමාණය සහ වටිනාකම අතින් ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 80% කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරයි. දීර්ඝ කාලයක් පුරා මෙරට තේ කර්මාන්තයට බලපාන ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමය මගින් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු වී තිබේ. එමෙන්ම කර්මාන්තයේ යහපත ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් සඳහා පෙරමුණ ගනිමින්, ජාත්‍යන්තර වශයෙන් ලංකා තේ සඳහා ඇති පිළිගැනීම ඉහළ නැංවීම සඳහා එම සංගමය ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරමින් සිටී.
මෙම වාර්ෂික මහා සභා රැස්වීමේදී, සංගමයේ හිටපු සභාපතිවරුන් ඉටුකළ මෙහෙවර අගයමින් ඔවුන් වෙත සමරු ඵලක ප්‍රදානය කරන ලදි. එමෙන්ම මෙහිදී තේ අපනයනකරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස හුසේෆා අක්බරලි මහතා තෝරා පත්කරගැනීමද සිදුවිය.
රැස්වීම අමතමින් තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ගනේෂ් දේවනායගම් මහතා මෙසේ පැවසී ය. “මා සභාපති ධූරයෙන් සමුගන්නා මේ මොහොතේ, අප කර්මාන්තයක් ලෙස හා සංගමයක් ලෙස අත්කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් මට ආඩම්බර වීමට පුළුවන්. එහෙත් තවමත් අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. වසර 25 කට පෙර ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 263 ක් අපනයනය කරමින් ඩොලර් මිලියන 598 ක ආදායමක් ලැබුවා. වර්තමානයේ අප එම ප්‍රමාණයට වඩා කිලෝග්‍රෑම් මිලියන 20 ක් අඩුවෙන් අපනයනය කළත්, ආදායම දෙගුණ වී ඩොලර් බිලියන 1.3 ක් බවට පත් වී තිබෙනවා. මෙය ලංකා තේ සඳහා ගෝලීය වෙළඳපොළේ පවතින ඉල්ලුමට මනා සාක්ෂියක්. එමෙන්ම අපට තවත් බොහෝ දුරක් යා හැකි බව ඉන් පැහැදිලි වනවා. අපනයන ප්‍රමාණයන් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වුවහොත් ඉදිරියේදී මෙය ඩොලර් බිලියන 3 ක කර්මාන්තයක් බවට පත් කිරීමට අපට හැකි වේවි. එහෙත්, අපගේ මුදල් ප්‍රවාහයට බාධා වන බදු ක්‍රියාවලීන් මෙන්ම අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින යල් පැනගිය ආකල්ප ඇතුළු ගැටලු රාශියකට මුහුණ දීමට අපනයනකරුවන්ට සිදු වී තිබෙනවා. කෙසේ නමුත් අප විශිෂ්ට ලෙස අපගේ රාජකාරිය ඉටුකර තිබෙන බව සංඛ්‍යාත්මක දත්ත මගින් පැහැදිලි වනවා. අභියෝගවලට ඔරොත්තු දීම සඳහා අප සතු හැකියාව දෙස බලන විට, නිසි සහයෝගය ලැබුණහොත් අපට මේ අභියෝග සියල්ල ජයගැනීමට හැකි වනු ඇති බවට සැකයක් නැහැ.”
මෙම වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙරට තේ කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, එහිදී විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ තේ නිෂ්පාදනයේදී සහ අපනයනයේදී මුහුණ දීමට සිදු වී ඇති අභියෝග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකෙරිණි. 2019 වසරේ සිටම දේශගුණ විපර්යාසවල බලපෑම්, රසායනික පොහොර තහනම සහ නැවත වගාකිරීම් ප්‍රමාණවත් නොවීම වැනි සාධක නිසා තේ නිෂ්පාදනය පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. 2023 වසරේදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 256,039 ක් විය. 2019 වසරේදී මෙරට තේ අපනයනය මෙට්‍රික් ටොන් 292,000 ක් වූ අතර 2023 වසරේදී එය ටොන් 241,912 ක් දක්වා පහළ ගොස් තිබේ. මේ නිසා මෙරට තේ කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා වහාම ක්‍රමෝපායික මැදිහත් වීම් සිදුකිරීම අත්‍යවශ්‍ය වී ඇත.
තත්වය මෙසේ වුවද අපනයන මගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න ආදායමක් වාර්තා කරමින් මෙරට ආර්ථිකය ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දැක්වීමට තේ කර්මාන්තය සමත් වී තිබේ. මෙය ලංකා තේවල උසස් ප්‍රමිතියට මෙන්ම ගෝලීය වෙළඳපොළ තුළ එය සතු ජනප්‍රියත්වයට මනා සාක්ෂියකි.
තේ කර්මාන්තය හමුවේ පවතින අවස්ථා හා අභියෝග සම්බන්ධයෙන්, උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ගෙවෝර්ග් සාර්ග්සයින් මහතා මෙසේ අදහස් දැක්වී ය. “කුඩා කාලයේ සිටම ලංකා තේ රස බැලූ කෙනෙකු වශයෙන් මට කවදත් මේ ක්ෂේත්‍රයට අතිශය සමීප බවක් දැනුණා. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයන අතරම රට නියෝජනය කරන සංකේතයක් සහ රටට ගෞරවයක් ගෙන දෙන කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා. කෙසේ නමුත් මෑතකාලීනව මෙම ක්ෂේත්‍රයට සැලකිය යුතු තරමේ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙන බව පැහැදිලියි. දේශගුණ විපර්යාසවල සිට ප්‍රතිපත්තිමය ගැටලු සහ ගෝලීය වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය දක්වා විවිධ සාධක මගින් මෙම කර්මාන්තයට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. 2070 වසර වන විට ශ්‍රී ලංකාවේ හොඳින් තේ වගාකළ හැකි කලාප 30% කින් කුඩා වනු ඇතැයි පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ තිරසාරත්වය ආරක්ෂා කරගැනීම බහුවිධ අභියෝගයක් වන නමුත් එයට හොඳින් මුහුණ දීමේ හැකියාව අප සතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනයක් ලබමින් පවතින මේ මොහොතේ තේ කර්මාන්තය නැවත ශක්තිමත් කිරීම, ආර්ථිකයේ වර්ධනයට බෙහෙවින් වැදගත් වේවි. මේ සුවිශේෂී සන්නාමයේ සාර්ථකත්වය සහ තිරසාරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා පෞද්ගලික හා රාජ්‍ය අංශවල සියලුම පාර්ශ්වකරුවන් එකට එක් වී, තේ කර්මාන්තයේ සියලුම පැතිමානයන් නගාසිටුවීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි. එමගින් සමස්ත ශ්‍රී ලංකාවටම තිරසාර හා සෞභාග්‍යමත් අනාගතයක් උදාකර දීම සඳහා අර්ථවත් දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබේවි.”
ඉරාන සහ රුසියානු බැංකු සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මගින් පනවා ඇති මූල්‍යමය සම්බාධක සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සම්බාධක හේතුවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංකීර්ණතාවන්ට මුහුණ දීමට සිදු වී තිබේ. තවද වෙනස් වන වෙළඳපොළ ගතිකත්වයන්ට අනුගත වීමේ වැදගත්කම මෙන්ම, විශේෂයෙන්ම තරුණ පරපුර සාම්ප්‍රදායක තේ මිශ්‍රණයන්ට වඩා ශාකසාර සහ පලතුරුසාර නිෂ්පාදනවලට ප්‍රමුඛත්වයක් ලබාදීම වැනි නව ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ වැදගත්කම ආදිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.