තේ වතු සේවකයින්ගේ තිරසාර පැවැත්ම සඳහා එකම මග ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම පමණක්ම බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි

Share with your friend

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය ගැටලු තේ කර්මාන්තය සඳහා ද එක ලෙස බලපා ඇති බැවින් තේ නිෂ්පාදනය ආශ්‍රිත සේවකයින්ගේ ආදායම වර්ධනය කළ හැකි එකම මාර්ගය වන්නේ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. මීට ඉහතදී සාමූහික ගිවිසුම් මගින් වතු සේවක වැටුප වාර්ෂිකව වැඩි වූ නමුත් තේ කර්මාන්තය සඳහා ඇති කර ඇති ගෝලීය බලපෑම සහ ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය අර්බුද මැද කර්මාන්තය පවත්වාගෙන යා හැකි එකම ක්‍රමවේදය ඵලදායීත්වය මත පදනම් වූ වැටුප් ක්‍රමය මුළුමනින්ම තේ වතු සේවකයින් සඳහා හඳුන්වා දීම පමණි. 

මෙරට තේ නිෂ්පාදනයේදී සේවක වැටුප් ඉහළ අගයක් ගන්නා අතර එය එක් තේ කිලෝවක නිෂ්පාදන පිරිවැයෙන් 60%ක් පමණ අගයක් ගනී. මීට සාපේක්ෂව තේ නිෂ්පාදනය කරන ඉන්දියාව, කෙන්යාව සහ චීනය වැනි රටවල මෙම අගය 30% ඉක්මවන්නේ නැත. එමෙන්ම ඵලදායීතාව අතින් ද ශ්‍රී ලංකාව කලාපයේ තේ නිෂ්පාදනය කරන සෙසු රටවලට සාපේක්ෂව පහළින් සිටී. ඉන්දියාවේ වතු සේවකයකු විසින් දෛනිකව නෙලිය යුතු දළු ප්‍රමාණය කිලෝ 40ක් වන අතර කෙන්යාවේ මෙම අගය කිලෝග්‍රෑම් 60ක් වේ. මේ අතරම මෙරට කුඩා තේ වතු ක්ෂේත්‍රයේ දෛනික වේතනය සඳහා නෙලිය යුතු දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 30කි. මේ අනුව කලාපීය වැවිලි සමාගම් ආශ්‍රිතව සේවය කරන සේවකයින් විසින් නෙලන දෛනික දළු ප්‍රමාණය කර්මාන්තයේ පැවැත්ම සහ ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා කෙලෙසකවත් ප්‍රමාණවත් නොවේ. 

පැවති රජය විසින් අත්තනෝමතිකව සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කළ රසායනික පොහොර සහ වල් නාශක තහනම මෙරට කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයන්ට ඇති කළ බලපෑම සුළු පටු නැත. මෙම අදුරදර්ශී තීරණය හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වූ තේ අස්වැන්නේ අඩුවීම 20%ත් 30%ත් තරම් විශාල වූ අතර මෙරට තේ සඳහා 2022 දී ගෝලීය වෙළෙඳපොලේදී හිමි වූ වාසිය මුලුමනින්ම අත්පත් කර ගැනීමට මෙරට තේ නිෂ්පාදන ක්ෂේත්‍රය අසමත් වන්නේ තේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටීමත් සමගය. තත්වය මෙසේ තිබියදී පවා පැවති රජය සිය දේශපාලන බලය රැක ගනු පිණිස වතු ක්ෂේත්‍රයේ දේශපාලනයේ නියුතු සේවක වෘත්තීය සමිතිවල සටන් පාඨය වූ රුපියල් 1000ක වතු සේවක දෛනික දීමනාව ලබා දීමට බලපෑම් කළ අතර කර්මාන්තයේ පැවැත්ම පිළිබඳව අවිනිෂ්චිත තත්වයක් පැවතිය ද කලාපීය වැවිලි සමාගම්, වැටුප් මණ්ඩලයේ නිර්දේශය පරිදි රජයේ තීරණය එලෙසම ක්‍රියාත්මක කරනු ලැබීය. මේ අවස්ථාව වන විට කලාපීය වැවිලි සමාගම් යෝජනා කළ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයට  ද සේවක වෘත්තීය සමිති අනුකූලතාවක් දැක්වූයේ නැත. 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙහි තීව්‍රතාව මත වතු සේවක වැටුප යලිත් වැඩි කළ යුතු බවට වූ යෝජනාවක් වතු සේවක වෘත්තීය සමිති සහ වතුකරයේ දේශපාලන පක්ෂ විසින් යළිත් කරලියට ගෙන ඇත. දැනට පවතින රුපියල් 1000ක දෛනික දීමනාව වැඩි කරමින් මෙම අගය රුපියල් 2000 කළ යුතු බව මෙම පාර්ශවයේ යෝජනාව වී ඇත. පවතින ආර්ථික අර්බුදය සේව්‍ය සේවක සියලු පාර්ශවයන්ට දැඩි බලපෑමක් ඇති කර ඇති බව නොරහසක් වන අතර පවතින උද්දමනය හමුවේ සේවක වැටුප වැඩි විය යුතු බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේද අදහස වන අතර එම වැඩි වීම සිදු කළ යුත්තේ තේ කර්මාන්තයේ තිරසාර පැවැත්ම ආරක්ෂා කර ගනිමින් බව ඔවුන් අවධාරණය කර සිටි. එනම් මින් පෙර පැවති විද්‍යාත්මක නොවූ  ඵලදායිතාව මත පදනම් නොවූ ගිවිසුම් කොන්දේසි වෙනුවට ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සහ සේව්‍ය සංගමය ඒකාබද්ධව ඉදිරිපත් කළ වතුසේවකයින් දෛනිකව නෙලන දළු මත පදනම් ව වැටුප තීරණය වීමට අදාළ එකඟතාවන් සාමුහික ගිවිසුමට ඇතුලත් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රජයේ මැදිහත් වීමකින් තොරව වඩාත් නම්‍යශීලීව සේවකයින්ට  මෙන්ම කර්මාන්තයේ තිරසාර පැවැත්ම ආරක්ෂා වන වැටුප් ක්‍රමයකට යාහැකිව තිබු බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ අදහසයි. 

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දිගින් දිගටම කියා සිටින වඩාත් තිරසාර වූ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම තුළ දෛනිකව රුපියල් 1000ක සීමාවේ රැඳී නොසිට පවතින උද්දමනයෙන් ආරක්ෂා වීම සඳහාද ඉහළ ඉපැයීමකට යෑම සඳහා වතු සේවකයින්ට අවස්ථාව සැලසේ . එමෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කළ වතුසේවකයින් දෛනිකව නෙලන දළු මත පදනම් වූ ඵලදායී වැටුප් ක්‍රමයට එදා වතුසේවකයින් සහ සේවක වෘත්තීය සමිති අනුකූලතාව දැක්වූයේ නම් දෛනිකව අවම නෙලීම් ප්‍රමාණය නෙලන සේවකයකුට පවා මාසිකව රුපියල් 50,000ත් 60,000ත් අතර වැටුපකට හිමිකම් කියන්නට හැකියාව තිබුණි. කලාපීය වැවිලි සමාගම්වල සේවය කරන සේවකයින් සිය දෛනික දීමනාව සඳහා අවම වශයෙන් කිලෝ 18ක ප්‍රමාණයක් නෙලිය යුතු අතර ඔවුන්ගේ දෛනික සේවා මුරය තුළ පැය කිහිපයකින් මෙම අවම දෛනික දළු ප්‍රමාණය සපුරාගත හැකි බැවින් දිනකට කිලෝ 35 ක් නෙලීම වතු සේවකයින්ට එතරම් අපහසු නොවන බව මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම පාර්ෂවයක්ම හොඳින් දනී. මෙලෙස දෛනිකව නෙලන දළු ප්‍රමාණය වැඩි වීම මත වතු සේවකයකුට දෛනිකව රුපියල් 3000 ත් 3500ත් අතර මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබේ. 

ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යොමු වීම තුළ වතු සේවකයින් ට හිමි වන වාසි පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෛයි මහතා “ වැඩිපුර නෙලන දළු ප්‍රමාණයට ගෙවන මිලට අමතරව සේවකයින්ට තමන්ගේම ඉලක්කයකට වැඩ කිරීමට මෙයින් අවස්ථාව උදා වෙනවා. එනම් වැඩ කළ යුතු පැය ගණන, වැඩ ආරම්භ කළ යුතු වේලාව , අවසන් කළ යුතු වේලාව තමන්ගේ අනෙකුත් වැඩ කටයුතු සිදු කරන අතර තුර කළ හැකියි. ඉහළ ආදායමක් උපයා ගැනීමට මෙමගින් අවස්ථාව උදා වුනත් වතු සේවකයින් සඳහා කලාපීය වැවිලි සමාගම් විසින් ලබා දෙන පහසුකම් කිසිවක් අඩු නොකරන අතර කලාපීය වැවිලි සමාගම් සේවකයින්ට පමණක් ලබා දෙන පුර්ව සහ පශ්චාත් ප්‍රසව සුවසේවා සත්කාර, පූර්ව ළමාවිය සංවර්ධන සේවා, දිවා සුරකුම් මධ්‍යස්ථාන, වතු සේවකයින්ගේ කුඩා දර්වන්ගේ පෝෂණය නංවාලීම සඳහා ලබා දෙන ආධාර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව, පාසල් උපකරණ, ඇතුළුව නෛතිකව හිමි වන අනෙකුත් සියලු වරප්‍රසාදයන් ද කලාපීය වැවිලි සමාගම්වල සේවය කරන සේවකයින්ට හිමි වෙනවා. එබැවින් මෙබඳු ආර්ථික තත්වයක් තුළ වතු සේවකයින් සහ සේවක වෘත්තීය සමිති කඩිනමින් ඵලදායීත්වය මත පදනම් වූ වැටුප් ක්‍රමයකට යෑම තුළින් කර්මාන්තයේ තිරසාර පැවැත්ම සඳහාත් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සඳහාත් ධනාත්මක ලෙස කර්මාන්තයේ අනාගතය කෙරෙහි බලපානු ඇති බව මගේ අදහසයි” යනුවෙන් පැවසීය.


Share with your friend