පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඉස්ලාමීය මූල්‍ය සේවා අංශය නැවතත් SLIBFI සම්මාන දිනයි: මෙවර ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ සම්මාන හිමිකරගනී 

Share with your friend

PLC සමාගමේ Al-Safa අංශය පසුගියදා පැවති ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී (Sri Lanka Islamic Banking and Finance Industry Awards –SLBFI 2023/24) සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ඉස්ලාම් ධර්මයේ ෂරීයා මූලධර්මවලට අනුකූල මූල්‍ය සේවාවන් මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් සමාගම කෙතරම් සාර්ථකත්වයක් අත්කරගෙන තිබේද යන්නට මනා සාක්ෂියකි. 

PC Banking Technologies හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය අධ්‍යක්ෂ සුභාෂ් චන්ද්‍ර බෝස් මහතා, PLC සමාගමේ Al-Safa අංශයේ ඉස්ලාමීය මූල්‍ය සේවා හා ඩිජිටල් නිෂ්පාදන ප්‍රධාන කළමනාකරු ෆස්මිල් මවුලානා මහතා වෙත සම්මානය ප්‍රදානය කළ අවස්ථාව. Park Street Al-Safa හි මෙහෙයුම් කළමනාකරු මුස්නි මුනාස් මහතා, ඉස්ලාමීය මූල්‍ය සේවා අංශයේ සෆ්රා ෆිර්දවුස් මහත්මිය සහ එම ඒකකයේ අයිනුල් මුන්තාස් මහත්මියද ඡායාරූපයෙහි වෙති 

සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු සහ බැංකු නොවන මූල්‍ය සේවා ආයතනවල තරගකරුවන් අතරින් PLC සමාගමේ Al-Safa අංශයේ ඉස්ලාමීය මූල්‍ය සේවා හා ඩිජිටල් නිෂ්පාදන ප්‍රධාන කළමනාකරු ෆස්මිල් මවුලානා මහතා වෙත පරිවර්තනීය නායකත්වය (Transformative Leadership) කාණ්ඩයේ රන් සම්මානය හිමි විය. ඒ මෙරට ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදුන් මහඟු දායකත්වය වෙනුවෙනි. එමෙන්ම මෙහිදී PLC සමාගමේ Al-Safa අංශයට වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය සේවා සපයන්නන් කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Wadi’ah Gold Safekeeping සේවාව වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය සේවාව කාණ්ඩයේ කුසලතා සම්මානයක්ද හිමි විය. 

මෙම සම්මාන හිමි වීම සම්බන්ධයෙන් ෆස්මිල් මවුලානා මහතා මෙසේ අදහස් පළ කළේ ය. “මෙම ජයග්‍රහණයන් සියල්ලම PLC සමාගමේ Al-Safa අංශයේ සාමූහික උත්සාහයෙහි සහ කැපවීමෙහි ප්‍රතිඵල ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් පාරිභෝගික-කේන්ද්‍රීයත්වය සහ නවෝත්පාදන ඔස්සේ ෂරීයා මූලධර්මවලට අනුකූල මූල්‍ය සේවාවන් මෙරටට හඳුන්වා දීමට අප කැප වී සිටිනවා. මෙම සම්මාන, ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නිම්වළලු තවදුරටත් පුළුල් කිරීම සඳහා අපට ලැබුණු උත්තේජනයක් ලෙසද හැඳින්විය හැකියි. ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටිමින්, නව සන්ධිස්ථාන සනිටුහන් කරමින් ඉදිරියටම යාම අපගේ අරමුණ වී තිබෙනවා. මෙමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට ෂරීයා මූලධර්මවලට අනුකූල සහ අනාගතයට ගැළපෙන මූල්‍ය විසඳුම් නිරන්තරයෙන් හිමි වේවි. එමෙන්ම මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට විකල්ප මූල්‍ය සේවාවන් තුළ අගය එකතු වූ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් තිළිණ කිරීමට අපට හැකියාව ලැබෙනවා.” 

UTO EduConsult මඟින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 13 වන වරට ය. මෙම සම්මාන උළෙල මෙරට ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස සැලකේ. ඉතාමත් දැඩි ක්‍රියාවලියක් යටතේ, විගණනය කරන ලද දත්ත සහ අනෙකුත් සාක්ෂි සැලකිල්ලට ගනිමින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මඟින් මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි. විශේෂයෙන්ම නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය යන සාධක මෙහිදී පුද්ගල මට්ටමින් සහ ආයතන මට්ටමින් සලකා බැලේ. 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “මෙම සම්මාන හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙමඟින් අපගේ කණ්ඩායමේ උනන්දුව හා කැපවීම හොඳින් නිරූපණය වනවා. එමෙන්ම, PLC යනු කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට සේවාවන් සැලසීමට කැප වී සිටින සමාගමක් බව නැවත වරක් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකියි.”

PLC සමාගමේ Al-Safa අංශය 2005 වසරේ සිටම, ඉස්ලාම් ධර්මයේ ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් මෙරට ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. පසුගිය දශක දෙකක කාලය තුළ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කර ගත්, ඉහළ ප්‍රමිතියකින් යුත්  සේවාවන් සපයමින්, මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට PLC සමාගමේ Al-Safa අංශය  සමත් වී සිටී. 

ආරම්භයේ සිටම නවෝත්පාදනයට මුල්තැන දුන් PLC සමාගමේ Al-Safa අංශය තම ෂරීයා අධීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීමටද පියවර ගෙන ඇති අතර, එමඟින් තම සේවාවන් නිරන්තරයෙන් සමාලෝචනය කිරීමට එම සමාගමට හැකියාව ලැබී ඇත. ඒ ඔස්සේ එම සේවාවන් ෂරීයා නීතියට අනුකූල බව නැවත නැවතත් තහවුරු කරගන්නා අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකමක් සහ නම්‍යශීලීත්වයක් පිරිනැමීමට හැකි වී තිබේ. මේ වනවිට එහි ශාඛා 50 කට අධික සංඛ්‍යාවක් දීපව්‍යාප්තව විසිරී පවතින අතර, ඩිජිටල් සේවාවන් රාශියක්ද හඳුන්වා දී ඇත. මේ නිසා රට පුරා වෙසෙන ගනුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරාම එහි සේවාවන් ලබාගැනීමට හැකි වී ඇති අතර, ඒ ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවා සම්පාදකයෙකු ලෙස ඉදිරියට පැමිණීමට PLC සමාගමේ Al-Safa අංශය සමත් වී ඇත. 

මේ ආකාරයට ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වීම මඟින් පෙනී යන්නේ, මෙරට ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණීමට PLC සමාගමේ Al-Safa අංශය සමත් වී ඇති බවයි. මෙම ජයග්‍රහණ තුළින් පන්නරය ලබමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීම සමාගමේ අරමුණ වී ඇත. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply