“ශ්‍රී ලංකාවට ආචාරධාර්මික හා ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්රයක් අවශ්‍යයි”ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, තාජුදීන් පවසයි
රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේගවත් සහ මූලික වෙනසකට දොරගුළු විවර කරමින් දීර්ඝ කාලීනව ස්ථාවරව පැවති දේශපාලන පරිසරය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව මෙවර විශිෂ්ට තීරණයක් ගෙන ඇත. මාධ්‍ය මෙම කාලවකවානුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දේශපාලන බලපෑම්වලින් තොර ඵලදායී සහ සියලු දෙනාට සමාන ප්‍රතිපත්ති සැකසීමේ දැඩි අවශ්‍යතාවය ඉතා පැහැදිලිය.
අපගේ ඉදිරි ගමනේදී සිදුවන ඕනෑම බාධාවක් සම්බන්ධයෙන් වගකීම ගනිමින්,ක්ෂේත්රය ආරක්ෂා කිරීමට කටයුතුකරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු,ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, තන්සිල් තාජුදීන් අවධාරණය කළේය.ක්ෂේත්රය තුළ පවතින අභියෝගවලට ආමන්ත්‍රණය කිරීමට සහ, ආයතනයේ අවශ්‍යතා සඳහා නොව ජනතාවට සේවය කිරීමට ස්ථාවරව නැගීසිටීමට අප අපගේ අරමුණු සකස්කර ගත යුතුය.
දේශීය මාධ්‍ය පිළිබඳ විශ්වාසය සහ ජනමාධ්‍යවේදයේ ගුණාත්මක භාවය යළි ඇති කරමින් සුරක්ෂිත, විශ්වසනීය සහ තිරසර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිපුණත්වය කලාපයේ ඉහළම තැනට නංවාලීමට, අපි මාධ්‍ය ආයතන, වෘත්තිකයන්, බලධාරීන්, උපදේශක කණ්ඩායම්, විද්වතුන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් සාමුහිකව ඉල්ලා සිටිමු. ක්ෂේත්රය සඳහා රාජ්‍ය නායකත්ව භූමිකා භාර ගන්නා ඉහළ බලපෑමක් ඇති පුද්ගලයන් අවශ්‍ය වේ.
වැටුප් ප්‍රමාද සහ සේවක හිඟය, යල් පැන ගිය ප්‍රතිපත්ති සහ ව්‍යාපාර ආකෘති, සුදුසුකම්ලත් පුද්ගලයින් නොමැතිකම, දැනුම හුවමාරුකර ගැනීමේ සහ සහයෝගීතාවයේ ඌනතාවය, සහ වාර්තාකරුවන් වගවීම සම්පූර්ණයෙන් නොසලකා හැරීම වැනි බොහෝ මූලික ගැටලු මාධ්‍ය සේවා ස්ථානවල බොහොමයක් පවතින බව පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් මඟින් අනාවරණය වූ අතර එවැනි ගැටලු අප්‍රමාදව විසඳා ගත යුතුය.
විශේෂයෙන් නිරන්තරයෙන් මෙම ක්ෂේත්රයේ ආධිපත්‍යය දරන ඇතැම් ප්රමුඛ නාම අතර සහ රට පුරා සිටින මාධ්‍ය වෘත්තිකයන් අතර ඉහළ මට්ටමේ ස්වයං පාලනයක් සහ ස්වයං විනයක් ඇතිකිරීම සඳහා මාධ්‍ය කර්මාන්තයට ද වැඩි විවිධත්වයක් සහ සමානාත්මතාවක් අවශ්‍ය වේ. තවද, සංවේදනාත්මක අන්තර්ගත මාධ්‍ය මඟින් නිරාවරණය කිරීම ඉවත්කිරීමේ අවශ්‍යතාව ඇති අතර, ඒවා නිරීක්ෂණය කිරීමට සහ ඇගයීමට ස්වාධීන කොමිසමක් හෝ ආයතනයක් පිහිටුවිය යුතුය.
මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන දක්ෂයින් අවම අවශ්‍යතා සපුරා තිබෙනබව සහතික කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ සඳහා, මෙම ක්ෂේත්රයට අවතීර්ණ වන නවකයෙකු සිය පළමු පියවර වශයෙන්, ප්‍රවේශ විභාගයක් මඟින් තෝරාපත්කර ගැනීම හෝ කතුවරයකු හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සමඟ නියමිත කාලසීමාවක් සඳහා අනිවාර්ය උපදේශනය සමඟින් පැවරුමක් සිදු කිරීමට යොමුකිරිම සිදු කළ හැකිය.මෙමඟින් මෙම ක්ෂේත්රයේ සේවයේ නියුතු බහු-පරම්පරා ශ්‍රම බලකාය අතර දැනුම බෙදා ගැනීමද සහතික කරනු ඇත.
මාධ්‍ය සඳහා ස්වාධීන හෝ ව්‍යාපෘති පදනම මත සේවයේ යෙදෙන පිරිස සම්බන්ධයෙන් සමාන සහ සාධාරණ ක්‍රියාමාර්ග අවශ්‍යවන අතර පූර්ණ කාලීන හෝ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදෙන පිරිස් සඳහා දුරස්ථ හෝ දෙමුහුන් වැනි නම්‍යශීලී වැඩ පරිසරයක අවශ්‍යතාවය පවතී.සමස්තයක් වශයෙන්, විවිධ පිරිස් අතර පවතින මෙහි සඳහන්කර ඇති ගැටලු විසඳීමට මාධ්‍ය ක්ෂේත්රයේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාකර ක්‍රියාශීලී දිගුකාලීන සැලැස්මක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු අතර, අපේක්ෂිත තත්වයට ක්ෂේත්රය නංවාලීම සඳහා පැහැදිලි, සංක්ෂිප්ත හා බලපෑම් සහගත උපාය මාර්ගයක් සහ මඟ පෙන්වීමක් තිබිය යුතුය.