බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

Share with your friend

රජයක් ප්‍රධාන වශයෙන් ආදායම් ලබන්නේ බදු මතිනි. ඒ බදු සියල්ල අය කරගනු ලබන්නේ එරට පුරවැසියාගෙනි. මහජනතාව පරිභෝජනය කරනු ලබන එදිනෙදා නිෂ්පාදනයන් වෙත පනවා ඇති විවිධ බදු ක්‍රමයන් තුළින් රුපියලෙන් රුපියල එකතු කරගන්නා රජය තමන්ගේ වියදම් වෙනුවෙන් එම මුදල් යොදා ගනී. මීට වසර කිහිපයකට පෙර රජයේ ආදායම දැඩිව කඩා වැටුණු අතර එය යළි සකස් කිරීම කිරීමට පසුගිය කාලය තුළ විවිධ බදු ක්‍රමයන් හඳුන්වාදීමටත්, වෙනස් කිරීමටත් රජය කටයුතු කරන ලදී. ඒ හේතුවෙන් බඩු මිල වැඩිවීම පමණක් නොව ජනතාවගේ ජීවත්වීමේ ගැටලුව කරලියට ආවේ නව ආණ්ඩුවකට පාර කපමිනි. එනයින් ජනතාව මත අධික ලෙස බදු පැනවීම එම ආණ්ඩු ගෙදර යැවීමට හේතුවක් බව සරලව සඳහන් කළ හැකිය.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගෙන ඇති එකඟතාවයන්ට අනුව රටේ ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර කරගෙන වර්ධනය කර ගැනීම අත්‍යාවශ්‍යය කටයුත්තකි. එසේ නොමැති වුවහොත් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ විදේශයන්හි සහාය ශ්‍රී ලංකාවට අහිමිව යාමේ අවදානමක් පවතින බැවින් එළඹෙන වසරයන්හි ඉලක්ක ගත බදු ආදායම වෙනුවෙන් අවශ්‍ය සියලු බදු එකතු කිරීම අත්‍යාවශය වේ. ඒ සඳහා නව රජය විසින් ගනු ලබන පියවරයන් කිහිපයක් පුරෝකතනය කළ හැකිය.

1. ඍජු බදු ජාලය පුලුල් කර වක්‍ර බදු අඩු කිරීම හරහා භාණ්ඩ හා සේවා මිල මත අඩුවන තෙරපුම අවම කිරීම

2. හිඟ බදු අය කිරීම

3. බදු අයකරන සීමාව ඉහළ නැංවීම

මත්පැන් හා දුම්වැටිවල බදු මිල ඉහළ යයිද?

ඕනෑම රටක ආණ්ඩුවක් විසින් බදු ආදායම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගනු ලබන්නේ මත්පැන් හා දුම්වැටි සඳහා පනවනු ලබන සුරාබදු බදු මතිනි. පැවති රජයන් මඟින් පසුගිය වසර 5ක පමණ කාලය තුළදී මෙරට බදු ආදායමෙන් 15% – 20%ත් අතර ප්‍රමාණයක් මත්පැන් හා දුම්වැටි සඳහා වූ බදු මඟින් උපයා ගන්නා ලදී.

එහෙත් එය හුදෙක් රජයේ බදු ආදායම් සඳහා පමණක්ම වූ නිෂ්පාදනයක් බවට පත් කරගෙන ඇති බවක් පෙනී යන්නේ වරින් වර ඉහළ බදු මුදලක් ඒ මත පැනවීමට කටයුතු කර ඇති නිසාවෙනි. මත්පැන් හා දුම්වැටි මත ඉහළ බදු මුදලක් පැනවීම තුළින් රජය වැඩි බදු ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කළද ඉන් සිදු වන්නේ අලෙවිය පහළ යමින් බදු මුදල ඉලක්කගත මුදලට වඩා පහළ යාමයි. නිෂ්පාදනයට සරිලන හා පාරිභෝගිකයාට ගැලපෙන ආකාරයේ බදු ඉහළ නැංවීමක් සිදු කරමින් බදු ආදායම ඉහළ නංවා ගැනීමට වඩා බදු ආදායම වැඩි කර ගැනීම සඳහා අසීමිත ලෙස එම නිෂ්පාදන මත බදු පනවමින් නිෂ්පාදනයන්හි මිල ඉහළ යාම නිසා සිදු වන්නේ නීතිමය වශයෙන් වෙළෙඳපොලට නිකුත් කරන නිෂ්පාදන පරිභෝජනය පහළ යාම සහ ඊට සාපේක්ෂව නිත්‍යානුකූල නොවන භාණ්ඩ පරිභෝජනය ඉහළ යාමයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම පවත්වාගෙන යෑම සඳහා බදු ප්‍රතිශතයන් ඉහළ නැංවීමට එවකට රජය කටයුතු කරන ලදී. භාණ්ඩ මිල ඉහළ යාමට එය සුවිසල් බලපෑමක් එල්ල කළ අතර කර්මාන්ත කඩා වැටීම, අධිඋද්ධමනය වැනි හේතූන් නිසාද අධික ලෙස භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාම වැළැක්විය නොහැකි විය. මේ සඳහා නිදසුන් ගණනාවක් පෙන්වා දිය හැකි අතර මත් පැන් හා දුම්වැටිය යන නිෂ්පාදනයන්ටද එය අදාල වේ.  2016 වසරේදී මත්පැන් හා  දුම්වැටි සඳහා වන සුරා බද්ද  ඉහළ නැංවීම හේතුවෙන් 52% කින් මිල වැඩි වූ අතර 2018 වසරේ දී මේ ආකාරයෙන්ම බදු සංශෝධන හේතුවෙන් ද මත්පැන් හා දුම්වැටිවල මිල වැඩි විය. මේ සියලු‍ බදු සංශෝධන සහ දුම්වැටියක මිල ඉහළ යෑම්වල ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ පළමු වරට රජයේ සුරාබදු ආදායම සැලකිය යුතු මට්ටමකින් අඩු වූ අතර මෙම තත්වය රාජ්‍ය ආදායම් ප්‍රවාහයට දැඩි බලපෑමක් එල්ල කළේය. මේ තත්වය 2019 සිට 2021 දක්වා අඛණ්ඩව පැවතිණ.

2019 සිට මත්පැන් හා දුම්වැටි බදු සඳහා රජය විසින් අය කරන බදු ප්‍රතිශතයන්ගේ සංශෝධනයන්ට අනුව තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් හා දුම්වැටි කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තරමටම අර්බුදයට ලක්කර දමා හමාරය. සුරාබදු සංශෝධනයන් හේතුවෙන් පසුගිය වසර 5 ක කාලය තුළ වරින් වර සිදුකරන ලද මිල වෙනස්කම් අනුව මත්පැන් හා දුම්වැටිවල මිල විශාල ලෙස ඉහළ ගිය අතර 2023 වසරේදී අවස්ථා දෙකකදී සිදුකළ බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් වූයේ නීත්‍යානුකූල නොවන නිෂ්පාදන පාරිභෝගිකයින් වැඩි වශයෙන් පරිභෝජනය සඳහා යොමු වීමයි. මෙසේ නිරතුරුව ඉහළ යන නීත්‍යානුකූල දුම්වැටි හා මත්පැන් මිල පාරිභෝගිකයින්ට දරාගත නොහැකි බැවින් සාතිශය බහුතර පාරිභෝගිකයින් සංඛ්‍යාවක් නීත්‍යානුකූල නොවන දුම්වැටි හා මත්පැන් භාවිතයට හුරු වීම වැළැක්විය නොහැකි විය.

මේ අතර බීඩි කර්මාන්තය ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හැඳින්වුවද 2023 දෙවැනි කාර්තුව වන විට මෙම ගෘහාශ්‍රිත කර්මාන්තය මගින් නිෂ්පාදනය කර ඇති බීඩි ප්‍රමාණය බිලියන 6.5 ක් තරම් විශාලය. එහෙත් බීඩි නිෂ්පාදකයින්ගෙන් අය කරගත යුතු බදු මුදල් පවා අයකර ගැනීමට තවමත් බලධාරීන් අපොහොසත්ව ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුමය. දුම්වැටි නිෂ්පාදනය හා බීඩි නිෂ්පාදනය ගැනෙන්නේ එකම කර්මාන්ත ගණයටය. එහෙත් එම කර්මාන්තයන් දෙකෙන් අය කරන බදු අහසට පොළොව මෙන් විෂමය.

දේශපාලනය තුළ මේ ආකාරයේ නිෂ්පාදනයන්හි මිල වැඩිවීම පාරිභෝගිකයින්ගේ හිතසුව පිණිස සිදු කළ බව නිරන්තරයෙන් පැවසෙන්නකි. පාන් පිටිවල තත්වයද එසේම විය. කිරි පිටි මිල වැඩිවීමද සාධාරණීකරණය කළේ එලෙසිනි. දැන් මත්පැන් හා දුම්වැටි මත බදු පැනවීම හා මිල ඉහළ යාමද ඔවුන් සාධාරණීයව කරනුයේ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරමින් එසේ කළ බව පවසමිනි.

දුම්වැටි සහ මත්පැන් කර්මාන්තයට දෙපයින් සිට ගැනීමට නොහැකි ආකාරයේ දැඩි සුරාබදු ප්‍රතිශතයන් පැනවිය යුතු බවට වන තර්කය ජනප්‍රියය. ඇතැම් ආර්ථික ඔස්තාර්වරුන් සහ සමීක්ෂණ ආයතන මෙන්ම ඇතැම් කාල වලදී ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ ඊනියා මතට තිත වැනි කුප්‍රකට ප්‍රතිපත්තියන් ද මෙබදු නිෂ්ඵල සංකල්පයන්ට සමාජය තුළ නිදහසේ සැරිසරන්නට තටු ලබාදුන්නේය. මෙවැනි අතාර්කික සිල්ලර තර්ක රජයේ බදු ආදායම නංවාලීමට හෝ අනෙක් අතින් දුම්වැටි හා මත්පැන් වෙත ජනතාව යොමු වීම වළක්වාලීමට හේතු නොවේ.

ආර්ථික විද්‍යාවේදී අප විසින් හදාරන භාණ්ඩයන් මත පැනවිය හැකි උපරිම බදු වලට සාපේක්ෂව භාණ්ඩය මගින් ලබාගත හැකි උපරිම බදු ආදායම ගැන අදහසක් ලබාගත හැකි ලැෆර් වක්‍රය (laffer curve) ට අනුව දුම්වැටි හා මත්පැන් වෙත පැනවිය හැකි උපරිම බදු ප්‍රතිශතයට දැන් ආණ්ඩුව ළගාවී ඇත. මින් ඉදිරියටත් නීත්‍යානුකූල දුම්වැටි හා මත්පැන් මත බදු පැනවීම තුළින් සිදුවන්නේ එක්කෝ මෙම කර්මාන්තශාලා වසා දමා එම ආයෝජකයින් රටින් බැහැර හෝ පාරිභෝගිකයින් සැලකිය යුතු පිරිසක් නිත්‍යානුකූල නිෂ්පාදන මිලදී ගැනීමෙන් වැළකී නීතිවිරෝධී දුම්වැටි හා මත්පැන්වලට වැඩි වැඩියෙන් යොමුවීම පමණයි. එවිට සමාජ විරෝධී විකල්ප වෙත යොමු වීමට දුම්වැටි හා මත්පැන් පරිභෝජනය කරන පාරිභෝගිකයා තල්ලු‍ කිරීමේ වගකීම ද රජය විසින් භාරගත යුතුව ඇත.


Share with your friend