බවර් සමාගම, ශ්‍රී ලංකවේ කාබනික කෘෂි විප්ලවය සඳහා කෙටි කාලීන විසඳුම් හඳුන්වාදෙයි

Share with your friend

ශ්‍රී ලංකාවට සිය හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථක පරිවර්තනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මූලික දැනුම හා විසඳුම් හඳුන්වාදීමට මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප්‍රකට බවර් සමාගම පසුගියදා පියවර ගත්තේය. ඒ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම වෘත්තීය හා ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ දැනුම උපයෝගී කරගනිමිනි. 

එහිදී විශේෂයෙන්ම, බවර් සමාගම සිය ගිවිසුම්ගත පාර්ශ්වකරුවන් වන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරමින් පසුගියදා මෙරට සංචාරයක නිරත වුණු විශේෂඥ කණ්ඩායමේ සොයාගැනීම් ද පදනම් කරගනිමින්, කෙටි කාලයක් තුළ කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථකව ගමන් කිරීමට අත්‍යවශ්‍ය පියවර කිහිපයක් යෝජනා කර තිබේ. 

මෙම විශේෂඥ කණ්ඩායමේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, කෘතිම කෘෂි රසායන භාවිතය අත්හැරීමේදී ඛනිජ රසායන වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එනම්, දැනට පවතින පාංශු සහ බෝග පද්ධතිය ඛනිජ රසායනවලට හුරුවී ඇති බැවින්, පළමුකොට එම කෘෂි පද්ධතීන් කාබනික පොහොර සඳහා හුරු කළ යුතුව ඇත. තව ද, කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා මහා පරිමාණ අමුද්‍රව්‍ය අදාළ ක්ෂේත්‍රවලට ලබාදිය යුතුව පවතී. 

කෘෂිකාර්මික පද්ධතියක් කාබනිකකරණය යනු වසර කිහිපයක් මුළුල්ලේ ධාරිතා සංවර්ධනය ද උපයෝගී කරගනිමින් පුළුල් වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළකි. කෙසේ නමුත්, හදිසියේම රසායන පොහොර තහනම් කිරීමත් සමඟ මෙවර මහ කන්නයේදී රසායනික පොහොර නොමැතිව වගා බිම් සැකසීම සඳහා ගොවීන්ට විකල්ප ලබාදිය යුතුව පවතී. 

ඒ අනුව පළමු පියවර ලෙස, මහා පරිමාණයෙන් කාබනික පොහොර ආනයනය කළ හැකි අතර එමගින් ස්වභාවික ක්‍රමවේද ඔස්සේ වගාවන්ට නයිට්‍රජන් ලබාදිය හැක. ඊට සමගාමීව, ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය, වෙළඳපොළවල්, සත්ත්ව පාලන ක්ෂේත්‍රය ආදිය මගින් අපතේ යන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවිය හැක. එවැනි ප්‍රතිචක්‍රීයකරණ දාමයක් තුළින් පරිසරයට ද විශාල යහපතක් සැලසෙනු ඇත. 

මෙහිදී කොම්පෝස්ට් පොහොර සතු කාර්යභාරය අතිශය වැදගත් ය. එනම් කොම්පොස්ට් භාවිතය තුළින් වගාබිම්වල පාංශු තත්ත්වය වර්ධනය කළ හැකි අතරම, පාංශු ව්‍යුහය ස්ථාවරත්වයකට ගෙන ඒමට ද හැකි වේ. තව ද බෝගවලට වැළඳෙන විවිධ ආසාදන අඩු කරමින් බෝගවල ප්‍රතිශක්තීකරණය වැඩිකිරීමේ හැකියාව ද කොම්පෝස්ට් සතු ය. 

දෙවනුව, කෘෂි නිෂ්පාදන අංශය සඳහා සාකල්‍ය කළමනාකරණ ප්‍රවේශයක් හඳුන්වා දීමේ වැදගත්කම ද එම වාර්තාව මගින් අවධාරණය කෙරේ. නිසි කුසලතා සහ දැනුම පදනම් කරගත් එවැනි ප්‍රවේශයක් හඳුන්වාදීමට වැඩි කාලයක් වැයවෙනු ඇත. එවැන්නක් ක්‍රියාවට නැංවීමේදී බෝග මාරුව හෝ වගා තාක්ෂණික ක්‍රමවේද මිශ්‍රණයක් භාවිත කිරීම, පාංශු ගුණාත්මකභාවය කළමනාකරණය සහ කාබනික වගාවට සුදුසු බෝග වර්ග තෝරාගැනීම ආදිය ඉතා වැදගත් ය. ඒ හරහා දිගු කාලීන කාර්යක්ෂම හා තිරසාර කෘෂි පද්ධතියක් බිහිකරගත හැකි වේ. 

මෙම ක්‍රියාදාමයේදී බවර් සමාගම අඛණ්ඩව FiBL සහ HAFL ආයතනවල විශේෂඥ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන අතර, එම කණ්ඩායම කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ ද කටයුතු කරනු ඇත. එතුළින් ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින්, අනාගත කෘෂි පරිවර්තනයට අවැසි විද්‍යාත්මක හා ප්‍රායෝගික විසඳුම්/ දැනුම ලබාදීමට අවකාශය උදාවනු නිසැක ය.


Share with your friend