බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ මගපෙන්වීම් වැඩසටහනක් පවත්වයි 

Share with your friend

ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ හා මගපෙන්වීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය පසුගියදා කටයුතු කළේ ය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේදී පැවැත්වුණු මෙම වැඩසටහනට ශිෂ්‍යත්වලාභීන් 5 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට එක්සත් රාජධානියේදී තම විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම වඩාත් පහසු කිරීම සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය. 

2024 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යන පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වලාභීන් කණ්ඩායම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිලධාරීන් සමග

පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිෂන් සභාව මගිනි. තම රටටත් ලෝකයටත් යහපතක් සිදුකිරීමට හැකියාව ඇති පුද්ගලයන් වෙත මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. සෑම වසරකදීම ලොව පුරා 800 කට ආසන්න පිරිසකට මේ ආකාරයට එක්සත් රාජධානියේදී පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව හිමි වේ. 1960 වසරේ සිට මේ දක්වා 31,000 කට අධික පිරිසකට පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ලබා එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමටත්, සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, ඒ ඔස්සේ ගෝලීය සංවර්ධන අභියෝග ජයගැනීම සඳහා අර්ථවත් දායකත්වයන් ලබාදීමටත් හැකි වී ඇත. 

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන වැඩසටහන් කළමනාකාරිනී හම්සි හනිෆ් මහත්මිය එක්සත් රාජධානියේ ලබන අධ්‍යාපනය තුළින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් කණ්ඩායම දැනුවත් කරමින් 

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන වැඩසටහන් කළමනාකාරිනී හම්සි හනිෆ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට නව ශිෂ්‍යත්වලාභීන් මෙන්ම මීට ඉහත පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව යටතේ අධ්‍යාපනය ලබා මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත් වී සිටින ආදී විද්‍යාර්ථයින් පිරිසක්ද එක්වූහ. සාගර ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, රාජ්‍ය ප්‍රතිපත්ති, මූල්‍ය හා ගිණුම්කරණය සහ නගර සැලසුම්කරණය හා නිර්මාණය යන ක්ෂේත්‍ර යටතේ මෙවර ශිෂ්‍යත්වලාභීන්ට ශිෂ්‍යත්ව හිමි වී තිබේ. එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිෂන් සභාව වෙතින් ලබාගත හැකි මගපෙන්වීම සම්බන්ධයෙන්ද මෙහිදී මෙම ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කරන ලදි. එමෙන්ම එක්සත් රාජධානියේ වීසා කටයුතු සහ ගමනාගමන පහසුකම්, එරට ජීවිතයට හැඩගැසීම, නවාතැන් පහසුකම්, මුදල් කළමනාකරණය කරගැනීම, සුරක්ෂිත ලෙස ජීවත් වීම සහ පෞද්ගලික ආරක්ෂාව වැනි කරුණු සම්බන්ධයෙන්ද ඔවුන්ට පැහැදිලි මගපෙන්වීමක් හිමි විය. එපමණක් නොව, අතීත ශිෂ්‍යත්වලාභීන් මෙහිදී තමන් එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබූ කාලය තුළ ලැබූ අත්දැකීම් නව ශිෂ්‍යත්වලාභීන් සමග බෙදාහදා ගත්හ. එහිදී ඔවුන් විශේෂයෙන්ම අවධාරණය කළේ, අධ්‍යාපනික සහ සමාජයීය ජීවිතය හැකි උපරිමයෙන් විඳගැනීමට උත්සාහ කිරීම වැදගත් බවයි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වැඩසටහන් ප්‍රධානී සංජීවනී මුණසිංහ මහත්මිය

මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන වැඩසටහන් කළමනාකාරිනී හම්සි හනිෆ් මහත්මිය මෙසේ පැවසුවාය. “අප මේ සමරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහනේ 65 වන සංවත්සරයයි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට සුවිශාල යහපතක් සිදු වී තිබෙනවා. මෙම ශිෂ්‍යත්වලාභීන් අතරින් 70% කට වැඩි ප්‍රමාණයක් ආපසු පැමිණ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, රටේ සංවර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබාදී තිබීම සතුටට කරුණක්. මේ වනවිට මෙම ශිෂ්‍යත්ව හිමි කරගෙන ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,150 කට අධිකයි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, රටේ දියුණුව වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා.” 

අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධීකාරිකා දීප්ති විජේසිංහ මහත්මිය 

2024 ශිෂ්‍යත්වලාභීන් කණ්ඩායමට අයත් ශිෂ්‍යත්වලාභිනියක වන, වයඹ විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ University of Aberdeen හි ආචාර්ය උපාධියක් සඳහා සූදානම් වෙමින් සිටින අචිනි වාසලා මෙහිදී මෙසේ අදහස් දැක්වූවා ය. “මගේ පර්යේෂණය සිදුවන්නේ එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වාසභූමිවල ලක්ෂණ සම්බන්ධවයි. ප්‍රධාන අංශ දෙකකට අදාළව දැනුම රැස්කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ, එම දැනුම මෙරට පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කිරීමට මා බලාපොරොත්තු වනවා.” 

නගර නිර්මාණය හා සැලසුම්කරණය සම්බන්ධ පශ්චාත් උපාධියක් බෙල්ෆාස්ට් හි Queen’s University හිදී හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමිකරගත් සඳුනි දිසානායක මෙසේ පැවසුවාය. “මෙය මගේ අධ්‍යාපන ගමනේ ප්‍රධානතම සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙකුට හිමි වන හොඳම අවස්ථාවක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. එක්සත් රාජධානියේදී ලබාගන්නා දැනුම ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට වගේම විදේශ මිතුරු මිතුරියන් රැසක් හඳුනා ගැනීමටත් මා බලාපොරොත්තු වනවා.” 

2000 වර්ෂයේදී ශිෂ්‍යත්ව ලැබූ කණ්ඩායමේ සාමාජිකාවක වූ මහාචාර්ය රමණි විජේසේකර නව කණ්ඩායමට මෙසේ උපදෙස් ලබාදුන්නා ය. “ඔබට විවිධ සංස්කෘතීන්ට අයත් විශාල පිරිසක් මුණගැසේවි. එයා ඉතා හොඳ දෙයක්. වෙනස් දේවල් අත්විඳින්න. වෙනස් ආහාරපාන රසබලන්න. යුරෝපයේ සංචාරය කරන්න. ඒ වගේම සම්බන්ධතා ගොඩනංවා ගැනීමත් ඉතා වැදගත්. මම එක්සත් රාජධානියට ගියේ 2001 වසරේදී. එහිදී හඳුනාගත් අය සමග තවමත් මම සම්බන්ධතා පවත්වනවා.” 

ප්‍රධාන සංවර්ධන තේමා 6 ක් යටතේ එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය [Foreign, Commonwealth and Development Office (FCDO)] මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව සඳහා අරමුදල් සපයනු ලැබේ. මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම 2024 සැප්තැම්බර් 10 දින ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාව තුළ එම ශිෂ්‍යත්ව සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේ බලය සහිත ආයතනය වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව කොමිෂන් සභාවේ මාර්ගගත අයදුම්කරණ ක්‍රියාවලිය ඔස්සේ අයදුම් කිරීමට අමතරව අයදුම්කරුවන් මෙම වැඩසටහන සමග එක්ව සිටින එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක අනුමත පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අයදුම් කර ඒ සඳහා අවස්ථාව ලබාගත යුතු ය.

අයදුම්කරුවන්ට අවශ්‍ය නම් පාඨමාලා කිහිපයකට මෙන්ම විශ්ව විද්‍යාල කිහිපයකට අයදුම් කළ හැකි නමුත් ඔවුන්ට ලබාගත හැකි වන්නේ එක් පොදු රාජ්‍ය මණ්ඩලයීය හවුල් ශිෂ්‍යත්ව අවස්ථාවක් පමණි. අයදුම් කළ යුතු කාලය, සුදුසුකම්, සහ අයදුම් කිරීමේ නීතිරීති සම්බන්ධයෙන් අයදුම්කරුවන් අදාළ විශ්ව විද්‍යාලයෙන් උපදෙස් ලබාගත යුතු ය. අයදුම් කිරීමේදී අදාළ වන සාමාන්‍ය සුදුසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු cscuk.fcdo.gov.uk/apply/ වෙතින් ලබාගත හැකි වේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply