යූනියන් ඇෂුවරන්ස් සමාගමට වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා සම්මානයක්

Share with your friend

යූනියන් ඇෂුවරන්ස් සමාගමට පසුගියදා පැවති 56 වන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ‘වාර්ෂික මූල්‍ය වාර්තාකරණය’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ ව්‍යාපාර පරිසරයක් තුළ පවා විනිවිදභාවය, වගවීම, ආයතනික යහපාලනය සහ සමාජයීය වගකීම්සහගත බව ප්‍රවර්ධනය කිරීම උදෙසා දක්වන ලද කැපවීම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම වෙත සම්මානය හිමි විය. 

“56 වන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රක්ෂණ සමාගම් කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිවීම අපට මහත් සතුටක්. පසුගිය අභියෝගකාරී කාලසීමාව තුළ මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය පවත්වා ගන්නා අතරම විනිවිදභාවය, වගකීම්සහගත බව සහ අවංක භාවය වැනි ගුණාංග ආරක්ෂා කරගැනීම සඳහා අප දැරූ උත්සාහයන් බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙමගින් පැහැදිලි වනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය. 

යූනියන් ඇෂුවරන්ස් සමාගම, තම ආයතනික තොරතුරු අනාවරණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා ඒකාබද්ධ වාර්තාකරණ රාමුවේ දක්වා ඇති මාර්ගෝපදේශ මූලධර්ම සහ මූලික සංකල්ප දැඩිව අනුගමනය කරයි. 

‘360 of Value’ යන තේමාව යටතේ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2020 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරන ලද අතර, එමගින් යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ එහි බාහිර පරිසරය, ක්‍රමෝපාය, සම්පත් වෙන් කිරීම, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ සමාගමේ අනාගත අපේක්ෂාවන් යනාදිය පිළිබඳ සමබර හා සංක්ෂිප්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply