වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සමාගම විසින් අත්හැර දැමීමයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අරමුදල් මත ඉදිකිරීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ප්‍රවාහන ව්‍යාපෘතිය අවලංගු කිරීම ද විශේෂයෙන් බලපෑමක් ඇති කළ සිදුවීමක් විය. මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට නාගරික ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් සිදු කළ හැකිව තිබූ අතර, ශීඝ්‍රයෙන් සංවර්ධනය වන, අගනුවරට තදාසන්න ප්‍රදේශයක් වන මාලබේ සිට කොළඹ කොටුවට දැනට ගතවන මිනිත්තු 45-90ක පමණ කාලය මිනිත්තු 30කට අඩු කිරීමේ හැකියාව ද තිබුණි. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන මාර්ග ජාලයක් නිසා වායු විමෝචනය මෙන්ම කොළඹ රථවාහන තදබදය ද සැලකිය යුතු අයුරින් අඩු කරගැනීමට මේ නිසා ඉඩකඩ පැවතුණි.
ඒ හා සමානව, 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 480ක් වටිනා Millennium Challenge Corporation (MCC) ප්‍රදානය අහිමි වීම මඟින් ද ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහනයට අත්‍යවශ්‍යම වැඩිදියුණු කිරීම් සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා තිබූ අගනා අවස්ථාවක් අහිමි වූ බව නොරහසකි. මෙම ප්‍රදානය මගින් මිලියන ගණනකට සෙත සැලසෙන අයුරින් පොදු ප්‍රවාහනය සංවර්ධනය කළ හැකිව තිබූ අතර, එසේ වැඩිදියුණු කළ ප්‍රාදේශීය මාර්ග හරහා ගොවීන්ට තම භාණ්ඩ වඩාත් කාර්යක්ෂමව වෙළඳපොළට රැගෙන ඒමේ අවස්ථාව ද උදා වන්නට නියමිතව තිබුණි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුතු ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ ව්‍යාපෘතිය අහිමි වීම, සංචාරක හා විනෝද ක්ෂේත්‍රයේ සිදු කළ හැකිව තිබූ සැලකිය යුතු සංවර්ධනයක් මඟ හැරුණු තවත් අවස්ථාවකට නිදසුනකි. මෙම ව්‍යාපෘති මඟින් සමස්තයක් ලෙස රැකියා දහස් ගණනක් උත්පාදනය කිරීමට සහ විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමට ද සැලකිය යුතු අයුරින් දායකත්වයක් සැපයීමට ඉඩ තිබුණි.
ඉතා මෑතකදී, එනම් 2025 මුල් භාගයේදී ඕස්ට්‍රේලියාවේ United Petroleum ශ්‍රී ලංකාවෙන් පිටවීම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට දරන උත්සාහයේ තවත් පසුබෑමක් සනිටුහන් කළේය. ඉන්ධන පිරවුම්හල් 150ක් වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කොට තිබුණත්, අලෙවි නියෝජිත ගිවිසුම් හිමි වූයේ 64ක් සඳහා පමණි. මේ හේතුවෙන් United Petroleum 2024 දෙසැම්බර් මාසයේදී මෙහෙයුම් නතර කළේය. මිල සූත්‍ර ගැටලු සහ මෙහෙයුම් සීමාවන් හේතුවෙන් ඔවුන්ගේ ඉවත්වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින දැවැන්ත අභියෝග පිළිබඳ සංඥාවක් නිකුත් කරනවා මෙන්ම රටේ ආර්ථිකය නැවත ස්ථාවර වෙමින් තිබෙන වකවානුවක විදේශ ආයෝජන රඳවා ගැනීමට රටට ඇති හැකියාව පිළිබඳව ද සාධාරණ ප්‍රශ්නයක් මතු කරන්නකි.
මන්නාරම සහ පූනරින් හි අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ ගොන්නක් අහිමි වනු ඇති අතර, වාර්ෂිකව බලශක්ති පිරිවැයෙන් රුපියල් බිලියන 30ක ඉතිරියක් සහ පාරිභෝගික ගාස්තු ඒකකයක් රුපියල් 17කින් අඩු කිරීමේ හැකියාව මේ නිසා ශ්‍රී ලංකාවට අහිමි වනු ඇත. ඉන්ධන සඳහා වන ආනයන වියදම් අඩු කිරීම හරහා වටිනා විදේශ විනිමය ඉතිරි කර ගනිමින් රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහය වීමට මෙම ව්‍යාපෘතියට පැහැදිලිවම හැකියාව තිබුණි.
Adani Green සමාගමේ මෙම තීරණය, කඩිනම් බලශක්ති යටිතල පහසුකම් අභියෝගවලින් ඔබ්බට විහිදෙන්නක් මෙන්ම ශ්‍රී ලංකාවට දැඩි තීරණාත්මක පසුබෑමක් ඇති කරන අභියෝගයකි. ව්‍යාපෘතිය අවලංගු වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ සියුම් ආර්ථික ප්‍රයත්නයන්ට බරපතල ලෙස හානිදායක වන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව උපායමාර්ගික ආයෝජන ගමනාන්තයක් ලෙස වැඩි සැලකිල්ලක් දක්වන ඉන්දියානු ආයෝජකයින්ගේ විශ්වාසය සැලකිය යුතු අයුරින් බිඳ දැමීමට ද හේතු වන්නකි.
අදානි ව්‍යාපෘතියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස ඉන්දියානු ආයෝජකයින් විසින් අර්ථකථනය කිරීමේ වැඩි ඉඩක් ඇති නිසා, අනාගත ආයෝජන සඳහා රටේ ආකර්ශනීය බව ගැන ඔවුන් නැවත තක්සේරු කරනු ඇත. එවැනි අනුමානයකට ආර්ථිකයේ කඩා වැටීමක් දක්වා බලපෑමක් සිදු කළ හැකි අතර, මෙම සුළු පැකිලීම ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය ආයෝජනකට ඇති බලවත් ප්‍රතික්ෂේප වීමක් දක්වා දුරදිග යාම ද නොවැලැක්විය හැකි කරුණක් වනු ඇත.
ඓතිහාසිකව, ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, බලශක්තිය, තාක්ෂණය සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල ආයෝජන සඳහා තීරණාත්මක ආර්ථික හවුල්කරුවෙකු ලෙස දායක වී ඇත. Adani Green ව්‍යාපෘතිය අවලංගු කිරීම දෙරට අතර ඇති ශක්තිමත් මෙන්ම තීරණාත්මක ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවට සිදු කරනුයේ බරපතල හානියකි. මෙම ව්‍යාපෘතිය තුළින් සඵලදායී පුනර්ජනනීය බලශක්ති විසඳුමක් ළඟා කර ගැනීමේ අවස්ථාව තිබූ අතර, වසර 20ක් සඳහා ඒකකයකට USC 8.26ක ස්ථාවර ගාස්තුවක් ලබා දීමට ද නියමිතව තිබුණි. එපමණක් නොව, මෙම ව්‍යාපෘතිය ජාතීන් දෙක අතර සහයෝගීතා ආර්ථික සංවර්ධනය සඳහා ඇති හැකියාව සංකේතවත් කළ අතර, ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ආර්ථික සහනයක් සහ මිල ස්ථාවරත්වයක් පිරිනමන්නට යෝජිතව පැවතුණි.
මූල්‍ය අවස්ථා පිරිවැය ඉතාමත් තීරණාත්මකය. ව්‍යාපෘතිය නොමැතිව, වත්මන් මිල ගණන් යටතේ, ශ්‍රී ලංකාවට බලශක්ති උත්පාදනය කිරීමට පොසිල ඉන්ධන ආනයනය සඳහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5.5ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම වියදම රටේ සීමිත විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති අතර, වඩාත් තිරසර හා ලාභදායී බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වූ රටේ උත්සාහයන්ට ද පටහැනි වූවකි.
රටේ වත්මන් විදුලි උත්පාදන පිරිවැය විස්ම පරාසයක විහිදී ඇත. ගල් අඟුරු මත පදනම් වූ උත්පාදනය සඳහා ඒකකයකට USC 12.52ක්, ඛනිජ තෙල් මත පදනම් වූ උත්පාදනය සඳහා ඒකකයකට USC 26.99ක් සහ ස්වාධීන තාප බලාගාර සඳහා ඒකකයකට USC 14 සිට 30 දක්වා වූ උච්චාවචනයක් දැකිය හැකිය. අදානි ව්‍යාපෘතිය මඟින් යෝජිත ඒකකයක් සඳහා ගාස්තුව වූයේ USC 8.26ක් වන අතර, මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ආර්ථික සහනයක් මෙන්ම මිල ස්ථාවරත්වයක් ද ලැබීමේ හැකියාව තිබුණි.
කෙටි කාලීන මූල්‍ය පාඩුවලට වඩා දිගුකාලීන ප්‍රතිවිපාක බරපතලය. අවලංගු කරන ලද මේ සෑම ව්‍යාපෘතියකින්ම පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට ලැබිය හැකිව තිබූ තාක්ෂණ හුවමාරුව, රැකියා උත්පාදනය සහ උපායමාර්ගික ආර්ථික සංවර්ධනය සඳහා මඟ හැරුණු වටිනා අවස්ථාවන්ය. සංකීර්ණ ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමට උත්සහ දරමින් සිටින රටක් ලෙස, විශ්වාසදායක සහ ආකර්ශනීය ආයෝජන ගමනාන්තයක් ලෙස රටේ කීර්ති නාමය පවත්වා ගැනීම ඉතා වැදගත් බව මෙහිලා අවධාරණය කළ යුතුය.
ප්‍රතිපත්තිවල අනුකූලතාව, නියාමන පුරෝකථනය කිරීමේ හැකියාව සහ ස්ථාවර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සැබෑ කැපවීමක් පෙන්නුම් කිරීම ආදී හදිසි අභියෝග ගොන්නකට ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙමින් සිටියි. විශේෂයෙන් ඉන්දියානු හවුල්කරුවන් තුළ ආයෝජන විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා, විනිවිද භාවයෙන් යුතු සන්නිවේදනය, උපායමාර්ගික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආර්ථික සහයෝගීතාවය සහ තිරසර සංවර්ධනය සඳහා රටේ කැපවීම පෙන්නුම් කරන විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් අවශ්‍ය වනු ඇත.
ජාතික සංවර්ධනය සඳහා ප්‍රමුඛතාව දීමේ අරමුණින් තේරී පත් වූ නව රජය කෙරෙහි ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු බලාපොරොත්තුවක් තබා ඇත. පරිපාලනය මෙම මඟ හැරුණු ආයෝජන අවස්ථා ප්‍රවේශමෙන් සමාලෝචනය කර, අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇති බවට පුළුල් සුභවාදී හැඟීමක් ජනතාව තුළ පවතී. මෙම ව්‍යාපෘති ඉවත් කර ගැනීමට හේතු වූ අභ්‍යන්තර ගැටලු විසඳීමේදී, ශ්‍රී ලංකාව අතීත අභියෝගවලින් පාඩම් උගත් බවත්, විදේශ ආයෝජන සඳහා ස්ථාවර, පුරෝකථනය කළ හැකි සහ ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීමට තමන් කැපවී සිටින බවත්, ගෝලීය ආයෝජන ප්‍රජාවට ධනාත්මක සංඥාවක් ලෙස ලබා දීමට රජයට දැන් අවස්ථාවක් තිබේ.
෴
කිෂෝර් දුව්වුරු රෙඩ්ඩි යනු ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න ව්‍යාපාරික අත්දැකීම් මෙන්ම, ව්‍යාපාර, සංස්කෘතිය සහ ප්‍රජා සහභාගීත්වය තුළින් සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති ඉන්දියානු වෘත්තිකයෙකි. බහු සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ සභාපතිවරයා ලෙස, රට තුළ ආයෝජන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු දායකත්වය ලබා දී ඇත.