ශ්‍රී ලංකාවෙන් ලක්සම්බර්ග් වෙතට DFCC බැංකුවේ ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වේ

Share with your friend

DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය තිරසාර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරන අතරම ලක්සම්බර්ග් කොටස් හුවමාරුව සමග එම බැංකුව පවත්වාගෙන යන දීර්ඝකාලීන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. 1998 වසරේදී DFCC බැංකුව විසින් ප්‍රථම වරට සිය දස වාර්ෂික ‘Floating Rate Note’ එම කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද අතර, ශ්‍රී ලාංකික සමාගමක් විසින් ණය සුරැකුම්පත් ජාත්‍යන්තර වශයෙන් ලැයිස්තුගත කළ ප්‍රථම අවස්ථාව එයයි.

රු. බිලියන 2.5 ක් (ආසන්න වශයෙන් යූරෝ මිලියන 8 ක්) රැස්කළ DFCC බැංකුවේ හරිත බැඳුම්කර, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහාම වෙන්වුණු ප්‍රථම ප්‍රාග්ධන වෙළඳපොළ ණය උපකරණය ලෙස සැලකේ. එහි මූලික ඉලක්කය වන්නේ, 2030 වසර වන විට රටේ සමස්ත බලශක්ති ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය තුළින් සපුරා ගැනීමේ ඉලක්කය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම ය. මීට සමගාමීව හරිත මූල්‍ය විසඳුම්  ඇතුළුව තිරසාර මූල්‍යකරණය සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම බැංකුවේ අරමුණ වී තිබේ.

මෙම හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ සුරැකුම්පත් නිල ලැයිස්තුවට (Securities Official List – SOL) ඇතුළත් වීම මගින් එම බැඳුම්කර සඳහා ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හිමි වන අතර, එය DFCC බැංකුව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ (International Capital Market Association – ICMA) හරිත බැඳුම්කර මූලධර්මයන්ට අනුකූල හරිත බැඳුම්කර රාමුවක් පවත්වාගෙන යන බවද තහවුරු කරයි. මෙම හරිත බැඳුම්කර මූලධර්ම ලොව තිරසාර මූල්‍යකරණය සම්බන්ධ ප්‍රධානතම ප්‍රමිති නිර්ණායකයක් ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වී ය. “අපගේ හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ද්විත්ව ලැයිස්තුගත වීම මගින් නිරූපණය වන්නේ, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට අප දක්වන උනන්දුව හා කැපවීමයි. පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් යොමුකරවීම තුළින්, රට තුළ දීර්ඝකාලීන යහපත් වෙනස්කම් සිදුකරමින්, වඩාත් පරිසර හිතකාමී හා තිරසාර අනාගතයක් බිහිකිරීමට දායක වීම අපගේ ඉලක්කය වී තිබෙනවා. එම අත්දැකීම් තුළින් පන්නරය ලබමින්, ශක්තිමත් පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන රාමු නිර්මාණය කරගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමටත්, තම අරමුදල් අවශ්‍යතා සඳහා ලක්සම්බර්ග් කොටස් හුවමාරුව වෙත යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමටත් අප කැප වී සිටිනවා.”

තිරසාර මූල්‍ය සේවා සහ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් සම්බන්ධ ප්‍රමුඛයෙකු වශයෙන් DFCC බැංකුව ශ්‍රී ලංකාව තිරසාරත්වය කරා යන ගමනේ පෙරමුණ ගැනීමට සමත් වී තිබේ. හරිත බලශක්ති සංවර්ධනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට මූල්‍ය පහසුකම් සපයන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රිඩ් මට්ටමේ සුළං, සූර්ය හා අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහාද DFCC බැංකුව සම මූල්‍ය පහසුකම් සම්පාදකයෙකු ලෙස කටයුතු කර ඇත. තවද ජාත්‍යන්තර හරිත දේශගුණ අරමුදල (Green Climate Fund) භාවිතා කිරීමට සෘජු අවසරය ඇති මෙරට එකම බැංකුව වන්නේද DFCC බැංකුවයි. හරිත දේශගුණ අරමුදල යනු පාරිසරික බලපෑම් අවම කිරීම සහ, දීර්ඝකාලීනව අභියෝගවලට ඔරොත්තු දීමට ආර්ථිකයට හා සමාජයට ඇති හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අරමුදලකි.

ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ තිරසාර මූල්‍ය ප්‍රධානී ලෙටීෂියා හැමන් මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “සිය ප්‍රථම හරිත බැඳුම්කර එකතුව සමගින් ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ ලැයිස්තුගත වන DFCC බැංකුව ලක්සම්බර්ග් කොටස් හුවමාරුව වෙත සාදරයෙන් පිළිගන්නවා. මෙය තිරසාර මූල්‍යකරණය සම්බන්ධයෙන් DFCC බැංකුව තබා ඇති ඉදිරි පියවරවලට මනා සාක්ෂියක් වන අතරම, එය ජාත්‍යන්තර සහයෝගීතාවට මෙන්ම, ශ්‍රී ලංකාවේ සහ වෙනත් නැගී එන වෙළඳපොළවල තිරසාර මූල්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අත්වැලක් වීම සඳහා අප දක්වන කැපවීමට සාක්ෂි දරනවා.”

මෙම ද්විත්ව ලැයිස්තුගත වීම, ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළවල් විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් DFCC බැංකුව සතු දැක්ම සමග සමපාත වන අතරම, නව්‍ය මූල්‍ය විසඳුම් හරහා රටේ පාරිසරික හා සමාජයීය ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා බැංකුව ඉටුකරන භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි. ඉදිරියේදී සමාජයීය ව්‍යාපෘතිද ඇතුළත් වන පරිදි සිය හරිත බැඳුම්කර රාමුව පුළුල් කරමින් එය තිරසාරත්ව බැඳුම්කර රාමුවක් බවට පත්කිරීමට බැංකුව සැලසුම් කර තිබේ.

DFCC බැංකුවේ හරිත බැඳුම්කර මෙලෙස ද්වි-ලැයිස්තුගත වීම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පරිවර්තනීය පියවරක් ලෙසද හැඳින්විය හැක. එය තිරසාරත්වයට අර්ථවත් ලෙස දායක වන අතරම ගෝලීය ආකර්ෂණය දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය උපකරණ සතු හැකියාවට සාක්ෂි දරයි. DFCC බැංකුවේ මෙම පුරෝගාමී පියවර, නවෝත්පාදනය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කලාපයේ සෙසු සමාගම් හා ආයතනවලටද මනා ආදර්ශයක් වනු නිසැක ය.  

DFCC බැංකුව පිළිබඳව  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර,  1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A- (lka) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්‍ය සේවා ඇතුළු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 139 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කළ හැකි වේ.

තිරසාර මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.  

ලක්සම්බර්ග් කොටස් හුවමාරුව පිළිබඳව

ලක්සම්බර්ග් කොටස් හුවමාරුව (Luxembourg Stock Exchange – LuxSE) යනු ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ඇති ප්‍රධානතම ක්‍රමවේදයකි. රටවල් 100 ක පාර්ශ්ව 1,750 කට අධික සංඛ්‍යාවක්  විසින් නිකුත් කරන ලද ණය උපකරණ 41,000 ක් ඇතුළුව බැඳුම්කර 44,000 කට අධික සංඛ්‍යාවක් එහි ලැයිස්තුගත වී තිබේ. ජාත්‍යන්තර ණය බැඳුම්කර ලැයිස්තුගත කිරීම සඳහා ලොව ප්‍රමුඛතම කොටස් හුවමාරුවක් ලෙස සැලකෙන ලක්සම්බර්ග් කොටස් හුවමාරුව ලැයිස්තුගත කිරීම්, කොටස් හුවමාරු පහසුකම් සහ තොරතුරු සේවා ඇතුළත් සුවිශේෂී සහ ඒකාබද්ධ සේවාවක් ලබාදෙයි.

2016 වසරේදී ලක්සම්බර්ග් කොටස් හුවමාරුව විසින් ලක්සම්බර්ග් හරිත හුවමාරුව (Luxembourg Green Exchange – LGX) දියත් කරන ලද අතර ඒ අනුව එය තිරසාර බැඳුම්කර සඳහාම වෙන් වූ පදනමක් හිමි ලොව ප්‍රථම කොටස් හුවමාරුව බවට පත් විය. මේ වනවිට ලක්සම්බර්ග් හරිත හුවමාරුව තිරසාර මූල්‍ය උපකරණ නිකුත් කරන පාර්ශ්ව සහ පරිසර හිතකාමී ආයෝජකයන් සම්මුඛ කරවන කේන්ද්‍රයක් බවට පත් වී ඇති අතර, රටවල් 60 ක නිකුත් කරන්නන් 340 ක් විසින් නිකුත් කරන ලද හරිත, සමාජයීය සහ තිරසාරත්ව බැඳුම්කර 2,200 කට අධික සංඛ්‍යාවක් එහි ලැයිස්තුගත වී තිබේ. එමගින් ලොව පුරා තිරසාර ආයෝජන ව්‍යාපෘති සඳහා රැස්කරනු ලබන අරමුදල්වල වටිනාකම යූරෝ ට්‍රිලියන 1.2 ඉක්මවයි. වැඩිදුර තොරතුරු සඳහා luxse.com වෙත පිවිසෙන්න


Share with your friend