ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් Disrupt Asia අනාගතය වෙනුවෙන් කැපවූ මෙහෙවරක

Share with your friend

GSER 2025 වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර, මෙම වාර්තාව තුළින් ඉස්මතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් විය. ආසියාව ගෝලීය නවෝත්පාදන සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ඇති බව සහ බැංගලෝර්, ටෝකියෝ සහ හොංකොං වැනි නගර මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇති බව ඒ අතරින් කැපී පෙනුණි. ලාංකිකයන් ලෙස අපට වඩා වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාව ද මෙම නව රැල්ලේ කොටසක් බවට පත්ව තිබීමයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ක්ෂේත්‍රය කැපී පෙනෙන පරිවර්තනයකට ලක් වෙමින් පවතින අතර, එය ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක්වෙමින් පවතී. Startup Genome විසින් වාර්ෂිකව සම්පාදනය කරනු ලබන 2025 Global Startup Ecosystem (GSER) 2025 වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ස්ථිරව සලකුණු වී ඇත.

2022 ජූලි සිට 2024 දෙසැම්බර් දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක ක්ෂේත්‍රය මඟින් ඩොලර් මිලියන 821ක් උත්පාදනය කර ඇති අතර, එය 2021 සිට තුන් ගුණයක වැඩිවීමකි. මානව සම්පත් දර්ශක අනුව පහසු පිරිවැයකට ලබා ගත හැකි, ඉහළම කුසලතා සහිත වෘත්තිකයන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් මුල් 5 අතර දිගටම රැඳී සිටීමට සමත්ව ඇත. තරගකාරී පිරිවැයකින් උසස් තත්ත්වයේ තාක්ෂණික කුසලතා ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ඇති හැකියාව අතින් ආසියාවේ #4 වන ස්ථානය ද දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. අරමුදල් පිරිනැමීම සඳහා ආසියාවේ හොඳම රටවල් 25 අතරට මෙන්ම, කුසලතා සහ අත්දැකීම් සඳහා ඉහළම රටවල් 35 අතරට ද ශ්‍රී ලංකාව පැමිණ තිබේ. මෙය වර්ධනය වෙමින් පවතින ආයෝජක විශ්වාසය සහ දිගුකාලීන තිරසරභාවයට දිය හැකි මනා නිදසුනකි.

මෙම ඇගයුම් ශ්‍රී ලංකාවට හිමි වීම අහඹුවක් නොවේ. එය කල්යල් බලා ගනු ලැබූ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයකි. මේ සියල්ල සමඟ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක ක්ෂේත්‍රය මේ වන විට එහි ගෝලීය සලකුණ පුළුල් කරමින් සිටී.

පසුගිය වකවානුව තුළ මීට අදාළව සිදු කෙරුණු බොහෝ වැඩකටයුතු අතර මෑතකදී පැවති Disrupt Asia 2025, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසාය සමුළුව සහ නවෝත්පාදන උත්සවය ද විය. මෙම අවස්ථාව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය වර්ධනය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. සැප්තැම්බර් මාසයේ දින හතරක් පුරා පැවති මෙම අවස්ථාවට ආයෝජකයින් 100+ සහ ව්‍යාපාර ප්‍රාග්ධන සහ උපකාරක ජාල 43ක් ඇතුළුව 5,000+ පිරිසක් සහභාගි විය. ඊට අමතරව, රටවල් 25කින් 90+ පිරිසක් ද DisuptAsia සඳහා සහභාගී විය. එහිදී නව ව්‍යවසාය 50ක් ප්‍රදර්ශනය කිරීමට ද පහසුකම් සලසා තිබුණි. කැපී පෙනෙන ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ඩොලර් මිලියන 50ක අරමුදල් එකතුවක් රජය විසින් දියත් කරනු ලැබීම ද මෙහිදී සිදු විය.

Disrupt Asia හරහා සිදු කරන ලද කාර්යයන් මඟින් දැනටමත් යම් කැපී පෙනෙන ධනාත්මක බලපෑම් වී ඇති බව පැහැදිලි කරුණකි. හැකියාවෙන් පිරිපුන් ඩිජිටල් ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළම ඔවුන්ගේ IP පවත්වා ගනිමින් ගෝලීය අනුබද්ධිත සමාගම්වල විදෙස් ඍජු ආයෝජන (FDI) ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නැවත ආයෝජනය කිරීමට ඉඩ සලසන යෝජනා ක්‍රමයක් ද ආයෝජන මණ්ඩලය (BOI) විසින් අනුමත කර ඇත. ශ්‍රී ලංකාවට විදෙස් ඍජු ප්‍රාග්ධන අරමුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) නව ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල් ව්‍යුහයක් හඳුන්වා දීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් සිටී.

එපමණක් නොව, ශ්‍රී ලංකා රජය විසින් දියත් කළ ඉහත සඳහන් ඩිජිටල් අරමුදල සඳහා ඩොලර් මිලියන 5ක මූලික ප්‍රාග්ධනයක් වෙන් කළ අතර, ඉතිරි ඩොලර් මිලියන 45 පුද්ගලික මූලාශ්‍රවලින් රැස් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය තව දුරටත් වර්ධනය කරමින්, 2025 වසරේදී ශ්‍රී ලංකාව ජාතික AI ප්‍රතිපත්තිය දියත් කරනු ලැබීය. එය AI-පාදක ඩිජිටල් ආර්ථිකයකට අඩිතාලම දැමීමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මෙම උපායමාර්ගය මගින් යටිතල පහසුකම්, කුසලතා, දැනුවත්භාවය සහ සහාය ලබා දීම, මහජන සේවා සහ යෙදුම් වැඩිදියුණු කිරීම සඳහා AI ඒකාබද්ධ කිරීම වැනි අරමුණු ඉලක්ක කරයි.

දේශීය වෘත්තිකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, AI පාදක පාලන කටයුතු පිළිබඳ උපදේශන සහාය ලබා දීම සහ ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති හරහා දැනුම බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව 2025 ජූලි මාසයේදී AI Singapore සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ද ඇති කර ගත්තේය. 

සැප්තැම්බර් මාසයේදී, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික බලවතුන් කැඳවමින්, ශ්‍රී ලංකාවේ පළමුවරට AI Expo 2025 නමින් AI ප්‍රදර්ශනයක් පැවැත්වීමට හැකි වීම ද කැපී පෙනුණු සිදුවීමක් විය. මෙම ප්‍රදර්ශනයේදී සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සහ කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල AI භාවිතය ප්‍රයෝජනයට ගන්නා ආකාරය සජීවීව නිරූපණය කෙරිණි. 

වර්තමානයේ, රජයේ සහාය ද ඇතිව ශක්තිමත් වන Agtech, Fintech සහ AI යන අංශවල වර්ධනය, රට සංවර්ධනය කරා මෙහෙය වන ප්‍රධාන සාධක බවට පත්ව ඇත. GoviLab Agritech Accelerator වැනි තාක්ෂණික වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වන අතර, Unique Digital ID ඉදිරියේදී දියත් කිරීමට නියමිතය.  

මෙම ප්‍රතිසංස්කරණ හුදෙක් ප්‍රතිපත්තිමය වෙනස්කම්වලට වඩා වැඩි යමකි. ඒවා වඩාත් ශක්තිමත් ආයෝජන පරිසරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන මූලික පියවර වේ. GSER 2025 මඟින් ශ්‍රී ලංකාවේ හැකියාවන් ඉස්මතු කිරීමත් සමඟ, දැවැන්ත අරමුදල් ගලා ඒම සඳහා ඇති අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබීය. ලෝකයේ වෙනත් සමාන රටවල් හා සසඳන විට මුල් අවධියේ ආයෝජනවල සාපේක්ෂව අඩුවක් පැවතීම අවධානය යොමු කළ යුතු කරුණක්ව පැවතුණි. එහෙත් මෙම තත්ත්වය වෙනස් කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සහ ආයෝජක සහභාගීත්වය වර්ධනය කිරීමට Disrupt Asia වෙතින් ලැබුණු සහයෝගය සුළුපටු නොවේ.

රටේ ගෝලීය නව ව්‍යවසාය අංශය පුළුල් කරමින්, නියෝජිත කණ්ඩායම් 2025 StartupTN ගෝලීය සමුළුව සහ Asia Berlin සමුළුව සඳහා සහභාගී විය. 2026 වසරේදී WebSummit Qatar, LEAP Saudi සහ Echelon Singapore සඳහා ද සූදානම් වෙමින් සිටිති. මෙම කටයුතුවල ප්‍රධාන අරමුණ වන්නේ නව ව්‍යවසාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.

ගෝලීය වශයෙන් නව ව්‍යවසාය සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ මොහොතේ කඩිනමින් කටයුතු කරමින් සිටී. ඒ යටතේ, සහයෝගීතාවන් ගොඩනැඟීම, IP සඳහා ශක්තිමත් ආරක්ෂාවක් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන හිතකාමී රෙගුලාසි සහ විශේෂ Virtual ආර්ථික කලාප වැනි සුවිශේෂී ව්‍යාපෘති ඒ අතර වේ. 

විචිත්‍රවත් සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වාර්ෂිකව 12,000කට අධික ICT උපාධිධාරීන් පිරිසක් ද උත්පාදනය කරයි. දැනුම පදනම් කරගත් සේවාවන් සහ ගෝලීය කුසලතා ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොඳ පසුබිමකි.

මේ වන විට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් ආරම්භයක් නිර්මාණය කර දී ඇති බව පැහැදිලිය. මේ මොහොත වන විටත් ආයෝජකයින්ගේ පසු විපරම් ක්‍රියාත්මක වෙමින් පවතියි. එසේම, නවෝත්පාදන ප්‍රමාණය ද ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතින බැවින්, 2026 වසර වේගවත් වර්ධනයක් සහිත වසරක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ සියලු කරුණු සලකා බලන විට, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පරිසරය සාර්ථක වර්ධනයක් ලබා ගනිමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්ට ඇත. ඔරොත්තු දීමේ හැකියාව, අභිලාෂය, පරිමාණ කිරීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව සැබවින්ම ‘නැගී එන රාජ්‍යයක්’ බවට තහවුරු කරමින් සිටියි.

“ශ්‍රී ලංකාව, සුවිශේෂී තාක්ෂණික කුසලතා අතින් මෙන්ම ව්‍යාපාර-හිතකාමී ප්‍රතිපත්ති හා නවෝත්පාදන සඳහා රජයේ සහයෝගය ද ලබමින් නැගී එන නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස තම ස්ථානය තහවුරු කර ගනිමින් සිටීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, නව ඩිජිටල් යටිතල පහසුකම් මෙන්ම නියාමනය මගින් විධිමත් කරන ලද AI ක්ෂේත්‍රය කෙරෙහි ලබා දී ඇති විශේෂ අවධානය වැනි කරුණු, මෙරට නව ව්‍යාපාර ආරම්භකයන්ට නවෝත්පාදන සිදු කිරීමට පහසුවක් සලසා තිබෙනවා. ICTA සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලැබීම අපටත් ඉමහත් ගෞරවයක් සේ සලකන අතරම මෙම වසරේ GSER වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය පෙන්වා දීමට ලැබීම සහ ගෝලීය වශයෙන් වර්ධනය වන නවෝත්පාදන පරිසරයට සහාය දීමට ලැබීම පිළිබඳවත් අප ඉතාමත් සතුටට පත්වනවා.” යනුවෙන් Startup Genome හි නිර්මාතෘ සහ සභාපති Marc Penzel පැවසීය.


Share with your friend