– ආසියා-පැසිෆික් මහජන සබඳතා සහ සන්නිවේදන සංගමය (Public Relations and Communications Association Asia Pacific -PRCA APAC), Mark and Comm සමාගම සමඟ එක්ව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රයත්නය අගයයි

ආචාර ධර්ම සන්නිවේදනය සහ ඒ පිළිබඳ මහජන කතිකාව ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින වෘත්තිකයන් ලෙස, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජයේ සූදානම අපි ප්‍රතිපත්තිමය වශයෙන් අගය කරන්නෙමු. කෙසේ වෙතත්, වර්තමාන පනත් කෙටුම්පතේ විෂය පථය පුළුල් වුවද, සැබෑ මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා සාරය සහ ව්‍යුහය යන දෙකෙහිම සැලකිය යුතු සංශෝධනයක් අවශ්‍ය බව අපි තදින්ම විශ්වාස කරන්නෙමු. එබැවින් නිසි මහජන සහභාගීත්වයකට ඉඩ දීම උදෙසා මෙම කෙටුම්පත් ක්‍රියාවලියේ උපදේශන කාලසීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිමු.
මාධ්‍ය සංවර්ධනය, වගවීම සහ නියාමනය වටා ඇති අරමුණු කෙටුම්පතෙහි පෙන්වා දී ඇති නමුත් මෙම කාර්යයන් සාධාරණ, ස්වාධීන සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. පවතින නීති ප්‍රතිසංස්කරණය කිරීම හෝ නව රාමු ගොඩනැගීම පිළිබඳ යොමු කිරීම් අපැහැදිලි වන අතර, දේශපාලන හෝ ආයතනික මැදිහත්වීම්වලින් අධීක්ෂණය ක්‍රියාවලිය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ද විස්තර නොකෙරේ. මාධ්‍ය නියාමනය කෙරෙහි ඇති විශ්වාසය ආරම්භ වන්නේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයෙනි.
මාධ්‍ය නියාමනය සහ ප්‍රකාශනයේ නිදහස සාර්ථක ලෙස තුලනය කර ඇති සෙසු රටවල් විසින් ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර හොඳ පිළිවෙත් ඇඳා ගැනීමට ද මෙම කෙටුම්පත සමත් වී නැත. ශ්‍රී ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා තිබේ. එවන් පසුබිමක දැනට කෙටුම්පත් කර ඇති පරිදි මෙම ප්‍රතිපත්තිය හරහා, මාධ්‍ය නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශයට අදාළ අපගේ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය කිරීමේ අවදානමක් ද පැනනඟී.
කෙටුම්පත පුරාම, “මහජන කැමැත්ත”, “වෛරී ප්‍රකාශය” සහ “වැරදි තොරතුරු” වැනි යෙදුම් නිතර දක්නට ලැබෙන නමුත් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීම් හෝ නීතිමය සීමා දක්වා නොමැත. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක් තුළ, විශේෂයෙන් සංක්‍රාන්ති සමාජවල, එවැනි අපැහැදිලිතා හරහා අනිසි භාවිතයට ඉඩක් නිර්මාණය කරයි. එනිසා මාධ්‍ය නියාමන ප්‍රතිපත්ති නිරවද්‍යතාවය මත ගොඩනගා ගත යුතුය.
කෙටුම්පත ඩිජිටල් මාධ්‍ය කෙරෙහි දක්වන අවධානය ගැන ද අපි සැලකිලිමත් වන්නෙමු. නවීන මාධ්‍ය සඳහා ද නියාමනය අවශ්‍ය වුවද, අන්තර්ජාල මාධ්‍ය සඳහා යෝජිත ලියාපදිංචි කිරීම් සහ අනුකූලතා බැඳීම් තුළින්, විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජනය දුර්මුඛ වීමේ අවදානමක් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ආවරණය නොකරන හෝ අඩුවෙන් වාර්තා කරන ලද පුවත් සහ සිදුවීම් වෙත ඩිජිටල් මාධ්‍ය මත ජනතාව විශ්වාසය තබන අවස්ථාවක, මෙම යෝජනා මගින් නොදැනුවත්වම හෝ මහජන අවශ්‍යතා පටු විය හැකිය.
එපමණක් නොව, නියාමනයට අදාළ වැදගත් ආරක්ෂණ ප්‍රතිපාදන ද දක්නට නොමැත. මූලාශ්‍රවල රහස්‍යභාවය රැකගැනීම පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. තොරතුරු හෙළි කරන්නන් සඳහා කිසිදු වගකීමක් දැරීමක් ගැන ද සඳහන් නොවේ. කාලෝචිත, සත්‍යාපිත තොරතුරු වෙත ප්‍රවේශ වීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමක් ද නොමැත. මෙම අඩුලුහුඬුකම් තුළින් විශ්වසනීය ජනමාධ්‍ය භාවිතයක් සඳහා ඇති පදනම දුර්වල වේ.
මෙම අඩුපාඩුකම්වලට අමතරව, මාධ්‍ය පරිසරය වඩා ශක්තිමත් කිරීමට ඇති ප්‍රධාන අවස්ථා ගණනාවක් කෙටුම්පතට මඟ හැරී තිබේ.
- මාධ්‍ය සාක්ෂරතාව: තිරසාර මාධ්‍ය පද්ධතියකට පාසල් සහ විශ්ව විද්‍යාලවල සිට රාජ්‍ය ආයතන සහ සිවිල් සමාජය දක්වා මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා රට පුරා දිගුකාලීන උපාය මාර්ගයක් ඇතුළත් විය යුතුය. වැරදි තොරතුරු බහුල යුගයක, ප්‍රවෘත්ති සම්පාදකයින් නියාමනය කිරීමට සමගාමීව විවේචනාත්මකව ප්‍රවෘත්ති පරිශීලනය කිරීමට පුරවැසියන් සූදානම් කිරීම ද කළ යුත්තකි.
- මාධ්‍ය ශක්‍යතාව: ස්වාධීන මාධ්‍ය සඳහා ආර්ථික වශයෙන් සහාය දීම පිළිබඳ ද මෙහි කිසිදු සඳහනක් නොමැත. මහජන කැමැත්ත මත අරමුදල් සපයන ක්‍රියාවලි, නවෝත්පාදන ප්‍රදාන සහ කුඩා හා ප්‍රාදේශීය මාධ්‍ය වෙත ද රජයේ වෙළඳ දැන්වීම් සඳහා සාධාරණ ප්‍රවේශයක් ආදිය නොමැති නම් ගතික, බහු මාධ්‍ය පරිසරයක් පැවතිය නොහැක.
- අන්තර්කරණය සහ නියෝජනය: විවිධත්වය පිළිබඳ ඉතා කෙටි සඳහනක් පමණක් ඇති අතර, ස්ත්‍රී පුරුෂභාවය, ජනවාර්ගිකත්වය, ආබාධිතභාවය සහ ප්‍රාදේශීය නියෝජනය හරහා මාධ්‍යවල සැබෑ සමානාත්මතාවයක් ළඟාකරගැනීම පිළිබඳ පුළුල් විග්‍රහයක් අවශ්‍ය කෙරේ. ප්‍රවෘත්ති කාමර, නායකත්ව භූමිකා සහ අන්තර්ගත තුළ මෙම විවිධත්ව නියෝජනයට ක්‍රියාකාරී සහායක් ලබාදිය යුතුය.
- අර්බුද සන්නිවේදනය: ජාතික හදිසි අවස්ථා, සෞඛ්‍ය අර්බුද හෝ ව්‍යසන වලදී මාධ්‍යයේ කාර්යභාරය නිර්වචනය කිරීමට ද ප්‍රතිපත්තිය අසමත් වේ. මාධ්‍ය සඳහා පමණක් නොව, රාජ්‍ය සන්නිවේදන බැඳීම්වලට අනුකූලව ද සදාචාරාත්මක අර්බුද සන්නිවේදන රාමුවක් පැවතීම අත්‍යවශ්‍ය වේ.
- රාජ්‍ය සේවයේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ: දශක ගණනාවක දේශීය ප්‍රතිසංස්කරණ යෝජනා මගින් රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මාධ්‍ය බවට පරිවර්තනය කරන ලෙස යෝජනාකර තිබේ. එම දැක්ම මෙම ප්‍රතිසංස්කරණ යෝජනා තුළ දක්නට නොමැත. එවැනි ප්‍රතිසංස්කරණයකින් තොරව, මෙම ආයතන මහජන සේවා වශයෙන් නොව රාජ්‍ය සන්නිවේදන උපකරණ ලෙස දිගටම ක්‍රියාත්මක වනු ඇත.
- තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI): තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාව ලැබූ ප්‍රධාන නෛතික ජයග්‍රහණයකි. එහෙත් ඒ ගැන කිසිදු සඳහනක් මෙම කෙටුම්පතෙහි ඇතුළත් නොවේ. RTI පිළිබඳව තාක්ෂණික සඳහනක් දැක්වුණ ද, එය ප්‍රතිපත්තියේ සැලසුමට හෝ අභිලාෂයට අර්ථවත් ලෙස ඇතුළත් නොවේ. ඕනෑම මාධ්‍ය ප්‍රතිපත්තියක් වගවීම සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රධාන අංගයක් ලෙස RTI ඇතුළත් වීම අතිශය වැදගත් ය.
- ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව: මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මානසික සෞඛ්‍යය, රැකියා සුරක්ෂිතභාවය හෝ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳව කෙටුම්පතෙහි කිසිදු තැනක සඳහන් නොවේ. මාධ්‍යවේදීන්, විශේෂයෙන් නිදහස් මාධ්‍යවේදීන් සහ ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩි අවදානමකට සහ අවිනිශ්චිතභාවයකට මුහුණ දෙන මොහොතක, මෙම ලුහුඬුතාව කැපීපෙනේ.
- දුක්ගැනිවිලි ඉදිරිපත්කිරීමේ සහ ආයාචනා කිරීමේ ක්‍රියාවලිය: මාධ්‍ය නියාමනය සාකච්ඡා කරන අතරම, තීරණ අභියෝගයට ලක්කිරීම, අභියාචනාවලට ඇති බාධා හෝ සහන සෙවීම සඳහා පැහැදිලි ක්‍රියා පටිපාටි දක්වා නොමැත. සාධාරණ මාධ්‍ය පරිසරයක් තුළ අභියාචනා සහ සමාලෝචනය වෙනුවෙන් ස්වාධීන, ප්‍රවේශය පහසු සහ කාලානුරූපී මාර්ග සිතියමක් තිබිය යුතුය.
අවසාන වශයෙන්, අවධාරණය කළ යුතු වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙම නීති කෙටුම්පත් ක්‍රියාවලිය තුළ සංකේතාත්මකව නොව, ගැඹුරින්ම අන්තර්කරණය සිදුවිය යුතු බව යි. සංකේතාත්මක ලැයිස්තුවකින් ඔබ්බට කෙටුම්පත් ක්‍රියාවලියේ උපදේශන පිරික්සුම් ලැයිස්තුව ගමන් කළ යුතුය. මාධ්‍යවේදීන්, කර්තෘවරු, ප්‍රකාශකයින්, ශාස්ත්‍රඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ රටේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රජා හඬවල් ප්‍රතිපත්තියේ සැලසුම, ක්‍රියාත්මක කිරීම සහ කාලානුරූප සමාලෝචනයේ කොටස්කරුවන් විය යුතුය.
මෙම කෙටුම්පත තුළ අර්ථවත්, අනාගතයට මුහුණ දෙන මාධ්‍ය රාමුවක් නිර්මාණය කරගැනීමේ විභවය පවතී. නමුත් එය සාර්ථක වනු ඇත්තේ එය මාධ්‍ය කර්මාන්තය සවිබලගැන්වීමක් කරා ගමන් කළහොත් පමණි. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් මහජන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය; විශ්වාසය ගොඩනඟා ගත යුතුය; එමෙන්ම විවිධ සහ විශ්වාසදායක තොරතුරු සඳහා මහජනතාවගේ ප්‍රවේශය හැකිළීමට නොව ශක්තිමත් කිරීමට ක්‍රියාකළ යුතුය.
මෙහි අඩංගු නොවන තවත් වැදගත් සාධකයක් වන්නේ අඛණ්ඩතාවයි. මාධ්‍ය පරිවර්තනය පිළිබඳ දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාකච්ඡා, ප්‍රතිසංස්කරණ සහ කමිටු විසින් මෙහෙයවනු ලබන නිර්දේශ තිබේ. රාජ්‍ය සේවා විකාශනයේ සිට බහුහිමිකාරිත්වය සහ සදාචාරාත්මක ස්වයං-නියාමනය දක්වා, බොහෝ වෙහෙස මහන්සි වී දිනාගත් ජයග්‍රහණ මෙම කෙටුම්පතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. එය අවාසනාවකි!
නැවතත් කියතොත්, මෙම කෙටුම්පතට ශක්තිමත්, අනාගතවාදී ප්‍රතිපත්තියක් බවට පත්වීමේ හැකියාව ඇති නමුත් එය සැලකිල්ලෙන්, ධෛර්යයෙන් සහ නිදහස සඳහා කැපවීමෙන් සංශෝධනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ මහජන සබඳතා කර්මාන්තය නියෝජනයකරන වෘත්තීකයින් ලෙස, අපි මාධ්‍ය ප්‍රතිපත්ති පැණවීම නොව, මාධ්‍ය බලගැන්වීම මූලික කරගත් ප්‍රතිපත්තියක් ඉල්ලා සිටිමු. ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන, වගවීම සහතික කරන සහ බියෙන් නොව විවෘතභාවය තුළින් ආයතන කෙරෙහි මහජන විශ්වාසය ගොඩනඟන ප්‍රතිපත්තියක් කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු. ඒ වෙනුවෙන් සහයෝගීතාවයෙන් සහ වගකීමෙන් මෙම ක්‍රියාවලියට සහාය දීමට අපි සූදානම්ව සිටිමු.