ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස ඉස්මතු කරමින්, CILT ජාත්‍යන්තර සමූළුව කොළඹදී සාර්ථකව පැවැත්වෙයි

Share with your friend

ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන කටයුතු සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන, ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය  (CILT SL) විසින් පැවැත්වූ CILT ජාත්‍යන්තර සමුළුව, 2025 සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල Cinnamon Life – City of Dreams හිදී සාර්ථකව පැවැත්විණි. ජාත්‍යන්තර ක්‍රම කාර්ය සම්පාදන ක්ෂේත්‍රයේ නිරත පිරිස හා මෙරට වෘත්තයින් ඒකරාශී කරමින් පැවැති මෙම සමුළුව, දකුණු ආසියාවේ ප්‍රමුඛතම, ක්‍රම කාර්ය සම්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමේ ප්‍රබල සන්ධිස්ථානයක් බවට පත් විය.

“අනාගතයට සූදානම් ක්‍රම කාර්ය සම්පාදනය: වෙනසට අනුගතව, තිරසාරත්වය කරා මෙහෙයවීම” යන තේමාව යටතේ රටවල් 30කට අධික සංඛ්‍යාවක ජාත්‍යන්තර නියෝජිතයින් 150කට වැඩි පිරිසක් ඒකරාශී කරමින් මෙම සම්මේලනය පැවැත්විණි. එමෙන්ම, ශ්‍රී ලාංකීය සැපයුම්දාම සහ ක්‍රම කාර්ය සම්පාදන ක්ෂේත්‍රය නියෝජනය කරමින්, 300කට අධික  වෘත්තිකයන් පිරිසක්ද ඊට එක් වූහ. රාජ්‍ය ආයතන, ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන ප්‍රධානීන්, ක්‍රම කාර්ය සම්පාදන අධ්‍යයන ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම අනෙකුත් වෘත්තිකයන් අතර ක්‍රමවේද අළලා පැවති සංවාද මෙන්ම අත්දැකීම් හා අදහස් හුවමාරු කර ගැනීමේ සැසිවලින් සමන්විත එම සමුළුව, ක්ෂේත්‍රයේ පිරිසට සහයෝගීතාවන් ඇතිකර ගැනීම සඳහා අගනා අවස්ථාවක් බවටද පත් විණි. 

දෙදිනක් පුරා මෙම සමුළුව පැවැත්වුණේ, මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විද්වතුන් විසින් පැවැත්වූ දේශන හා අන්තර්ක්‍රියාකාරී වැඩමුළුද ඇතුළත්ව ය. එමෙන්ම ක්ෂේත්‍රයේ තීරණාත්මක මාතෘකා යටතේ, විද්වත් සාකච්ඡාද එහිදී පැවැත්වුණු අතර, ඒ අනුව, ඩිජිටල්කරණය, තිරසාරත්වය, සැපයුම් දාම ඔරොත්තු දීම, ප්‍රශස්තකරණය සහ චක්‍රීය ආර්ථිකය යන මාතෘකාවන්ට අදාළව විද්වතුන් විසින් කරුණු සාකච්ඡා කරන ලදී. එමෙන්ම, ක්ෂේත්‍රයේ වේගවත් ප්‍රවණතාවන් සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම ක්‍රමවේද පිළිබඳව වටිනා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සැලසුණු මෙම සමුළුව ඊට සහභාගි වූ පිරිසගේ නොමඳ පැසසුමටද පාත්‍ර විණි. 

මෙම සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා සහභාගී වූ අතර  නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු  සහ අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගිත්වයද සමුළුවට හිමි විණි. 

එම සමුළුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ අළලා, ක්‍රම ‌කාර්ය සම්පාදන ක්ෂේත්‍රය ක්‍රමවේදීය වශයෙන් කොතෙක් දුර  වැදගත් වන්නේද යන කාරණය අවධාරණය කරනු ලැබීය. 

“ජාත්‍යන්තර වෙළෙඳ මාර්ගවල උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි රටත් විදිහට අපි අපේක්ෂා කරන්නේ, කලාපීය ක්‍රම කාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් ලෙස පිළිගැනීම හිමිකර ගැනීමටයි. නැගෙනහිර සහ බටහිර යා කරන වරායන්, ගුවන් තොටුපළවල් සහ ප්‍රවාහන ජාලයන් සමඟින් ශ්‍රී ලංකාව ස්වභාවිකවම ජාත්‍යන්තර වෙළෙඳාම සඳහාම ඉවහල් වන ආකාරයෙන් පිහිටා තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකාව වාණිජ වශයෙන් එලෙස ස්ථානගත කිරීමට අපේක්ෂාවන් පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒ සඳහා, ආයෝජන, නවෝත්පාදන සහ සහයෝගිතාවන් ඔස්සේ, අඛණ්ඩව උත්සාහයක් දැරීම අත්‍යවශ්‍යයි.”

එම කාර්යය සඳහා ඉවහල් වන පරිදි, වරායන් සහ ගුවන් තොටුපල නවීකරණය කිරීම, මාර්ග සහ දුම්රිය පද්ධති ඉහළ නැංවීම, ගබඩා සහ අගය එකතු කළ සේවාවන් පුළුල් කිරීමට රජය කැප වී කටයුතු කරන අතර කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණෙන් ඩිජිටල්කරණය කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සිදුකරන බවද හෙතෙම අවධාරණය කළේය. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳාම් කටයුතු පහසු කිරීම සඳහාත්, ආර්ථික වර්ධනය උදාකිරීම මෙන්ම වෙළෙඳ පොළ තරඟකාරිත්වය ජයගැනීම සඳහාත්, කාර්යක්ෂම ක්‍රම කාර්ය සම්පාදන පද්ධතියක් කොඳු නාරටිය බඳුව වැදගත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, කලාපීය ක්‍රම කාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ කටයුත්ත වේගවත් කිරීමට, ජාත්‍යන්තර අත්දැකීම්වලින් දැනුවත් වීමට හැකියාව සලසන මෙවැනි සම්මේලන අත්‍යවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනයේ සභාපති චන්දිම හුලංගමුව මහතා සඳහන් කළේ, මෙම සමුළුව අපේක්ෂිත ආකාරයටත් වඩා සාර්ථක ලෙසින් පැවැත්වීමට හැකි වූ බවයි. “ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ඉදිරි දැක්මක් සහිත සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට ස්ථානගත කිරීමට මෙම සමුළුව සමතව තිබෙනවා. මේ හරහා දින දෙකක් පුරා විදහා දැක්වුණු අදහස් සහ සහයෝගීතාවන්, එම පරිවර්තනය උදාකිරීමටත් සහ කල් පවතින සහයෝගිතාවන් ඇතිකර ගැනීමටත් රුකුලක් වනු ඇති.” යනුවෙන් හෙතෙම පැවසීය.

මෙම ප්‍රමුඛ පෙළේ ජත්‍යන්තර සමුළුව සාර්ථකව පවත්වමින්, CILT ශ්‍රී ලංකා ආයතනය විදහා දැක්වූයේ, ශ්‍රී ලංකාවේ ක්‍රම කාර්ය සම්පාදන සහ ප්‍රවාහන වැඩපිළිවෙළ හැඩගැස්වීමේදී එම කාර්යයෙහි නියමුවා ලෙස පෙරමුණු ගැනීමට එම ආයතන සතු හැකියාවයි. එමෙන්ම, ජාත්‍යන්තර සැපයුම් දාම ජාලයන් තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ හැකියාවද ඒ සමඟින් විදහා දැක්වේ. 


Share with your friend