ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය 2025 අගෝස්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි නියැලි ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්රයන්හි විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියළු පාර්ශවයන් එකමුතු කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 22 වැනි වසරට වීම විශේෂත්වයකි. කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලයේ (National Agribusiness Council) සහයෝගීත්වයෙන් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය මෙවර සංවිධානය කෙරේ.

Profood Propack සහ Agbiz වසර 25 කට අධික කාලයක් තිස්සේ SLFPA හි සුවිශේෂී මාධ්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් හා ඇසුරුම් ක්ෂේත්රයේ වර්ධනය කෙරෙහි සහ දේශීය ආර්ථික සංවර්ධනය කෙරෙහි අනගි දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම, ඇසුරුම්කරණය හා සමගාමී සේවාවන් රැසක වෙළෙඳපොල දැවැන්තයන් එකමුතු කරමින් නවෝත්පාදන හඳුන්වාදෙමින් උපක්රමික සබඳතා ගොඩනගමින්, දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කරමින් සියල්ලන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට දායක වී ඇත.
Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේදී ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි නව ප්රවණතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරුකරගනිමින් සහභාගීවන සියළු පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා පසුගිය වසරේදී හඳුන්වා දුන් Knowledge Hub මෙවර ප්‍රදර්ශනයේදීත් ක්‍රියාත්මක වන අතර පාරිභෝගික සහය වෙනුවෙන් සුවිශේෂී සහය සේවාවක් ද (Consumer Assistance Desk) ක්‍රියාත්මක වේ.
ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි නියැලි ව්‍යවසායකයන් අතර තම නිෂ්පාදන පිළිබඳ දැනුම, අත්දැකීම් හා අදහස් හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමට, නව අලෙවි හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට මෙන්ම තම නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික අදහස් ලබාගනිමින් ප්‍රවර්ධනය කරගැනීමෙහිලා Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය මහඟු අවස්ථාවකි. එමෙන්ම ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව නිෂ්පාදන හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන්ට ක්ෂේත්රයේ නව ප්රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා අඩිතාලම සකස් කරගැනීමටත් මෙම ප්‍රදර්ශනය උපකාරීවනු ඇත. විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපනයේ නියැලි සිසුන්ට වෘත්තීමය දැනුමක් ලබාගැනීමට මෙන්ම ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි අනාගත රැකියා බලාපොරොත්තු වන්නන්ට එම ක්ෂේත්රයන්හි දැවැන්තයන් සමග එක්වීමට අවස්ථා රැසක්ද Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙතින් හිමි කරගත හැකිය.
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ සභාපති තුසිත් විජේසිංහ මහතා “මෙවර ප්‍රදර්ශනයට නව්‍යකරණයෙන් පිරිපුන් නවතම විශේෂාංග රැසක් ඇතුලත්වෙනවා.
අප සමග එක්ව දිරියෙන් ඉදිරියට ආ ව්‍යවසායකයන්ගේ සාර්ථකත්වය විදහා දැක්වීමටත් ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රවල තවත් විශිෂ්ටයන් හඳුන්වාදීමටත් එම විශිෂ්ටයන්ට සම්මානනීය ගෞරවයක් පිරිනැමීමටත් මෙවර ප්‍රදර්ශනයේදී කටයුතු කෙරෙනවා. SLFPA විධායක කමිටුව විසින් ක්‍රියාත්මක කරනු ලබන Help Desk සහ Knowledge Hub සමග ප්‍රදර්ශනයට සහභාගීවන සියළු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීමට අප බලාපොරොත්තුවෙනවා.” යැයි පැවසීය.
Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ එහි සම සභාපතිවරයෙකු වන අරුණ සේනානායක මහතා “දශක දෙකකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රවල සෑම තරාතිරමකම ව්‍යවසායකයන්, නවෝත්පාදනකරුවන් හා ආයෝජකයන් යනාදී සියළු පාර්ශ්ව එක වහලක් යටට එකමුතු කරමින් ජාතික ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් මහගු මෙහෙවරක් Profood Propack & Agbiz ප්‍රදර්ශනය ඉටුකොට තිබෙනවා. මෙම වසර ගණනාව තිස්සේ ව්‍යාපාරික අදහස් සාර්ථක ව්‍යාපාර බවට පත් කරන්නටත් ව්‍යාපාර අතිසාර්ථකත්වය කරා ගෙනයන්නටත් හැකිවීම සම්බන්ධයෙන් අප නිහතමානී ලෙස ආඩම්බර වෙනවා. මෙවර 2025 ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර නව ප්රවණතා අනුව සහභාගීවන්නන්ට නවතම අත්දැකීම් රැසක් හිමිකරදෙන්නට අප සූදානම්.” යැයි පැවසීය.
Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ එහි සම සභාපතිවරයෙකු වන වසන්ත චන්ද්‍රපාල මහතා “ශ්‍රී ලාංකීය ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්රයන් පාරම්පරික ව්‍යවසායකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම දැවැන්ත ව්‍යාපාරික ආයතනයන් යන සියළු පාර්ශ්වයන්ගෙන් ශක්තිමත්ව තිබෙනවා. මෙම ක්ෂේත්රයන්ගේ වර්ධනයට මේ සියළු පාර්ශ්වයන්ගේ දැනුම හා අත්දැකීම් එකමුතු කිරීමට Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය ශක්තිමත් අඩිතාලමක් සකස්කොට තිබෙනවා. මෙම වසරේදී ව්‍යාපාරික සහයෝගීතාවයන් ඇතිකරගැනීමට, ආයෝජන සිදුකිරීමට හා දැනුම් හුවමාරුව සඳහා වටිනා අවස්ථා රැසක් සම්බන්ධවන සියළු දෙනාට හිමිකරදීමට අප කටයුතු යොදා තිබෙනවා.” යැයි පැවසීය.
මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් පුද්ගලික සමාගම, කාගීල්ස් සිලෝන් පීඑල්සී සහ Pakona Engineers (India) Pvt. Ltd විසින් ලබාදී ඇත. ස්වර්ණමය අනුග්‍රාහකත්වයන් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් පුද්ගලික සමාගම හා Aussee Oats Milling (Pvt) Ltd විසින් ද රජතමය අනුග්‍රාහකත්වයන් Goma Engineering (Pvt) Ltd, FPT Food Process Technology Co. Ltd, CMC Engineering Export GmbH, CBL කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී, කන්ට්‍රි ස්ටයිල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, Rancrisp Marketing (Pvt) Ltd, නෙල්නා ෆාම් පුද්ගලික සමාගම, ඇල්ලී පුද්ගලික සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, ෆ්රීලන් එන්ටප්‍රයිසස්, FMJ Plastics (Pvt) Ltd, Akhtari Trades (Pvt) Ltd, නිකිණි ඔටෝමේෂන් පුද්ගලික සමාගම සහ ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත.