සිනමන් හෝටල් සහ රෙසෝට්, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපනය ඉහළ නංවයි

Share with your friend

සිනමන් හෝටල් සහ රෙසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy-SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මෙම නව ආයතනය මගින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශ උදාවේ. 

වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම සංචාරක සේවා කළමනාකරණ සරසවිය ලෙස සම්භාවනාවට පත් EHL විශ්ව විද්‍යාලය පිරිනමන මෙම උසස් තත්ත්වයේ වෘත්තීය පාඨමාලා සුදුසුකම් ලබාගැනීමට සිනමන් හොස්පිටැලිටි ඇකඩමි සමඟ එක්වන සිසුන්ට හැකිවේ. ස්විස් කුසලතා ක්‍රියාරාමුවට අනුව නිර්මාණය කර ඇති EHL විෂය මාලාව, ප්‍රායෝගික කුසලතා සහ සංචාරක කර්මාන්තය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති උසස් මට්ටමේ වෘත්තීකයින් බිහිකිරීමට සමත් ය. 

මාස 18ක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාවක් සහ වසරක වෘත්තීය පුහුණු කාලසීමාවක් ඇතුළත් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කාලය වසර දෙකහමාරකි. මෙම පාඨමාලාවට සංචාරක සේවා කර්මාන්තයේ ප්‍රායෝගික අත්දැකීම්, කළමනාකරණ විධික්‍රම සහ අධ්‍යාපනික මූලිකාංග ඇතුළත් අතර, සූපවේදී, ආහාරපාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂවේදී ධාරා තුනකින් සමන්විත ය. එහි ආධුනිකත්ව පුහුණු ආකෘතියට දෙදින න්‍යායික සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සහ සිනමන් හෝටල් ජාලයට අයත් හෝටලයක සිව් දින ප්‍රායෝගික පුහුණුවක් ඇතුළත් ය.  

බවර් සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සහ සිනමන් හෝටල් සහ රෙසෝට් සමාගම අතර මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම නිවැරදිය. ″සිනමන් හෝටල් සහ රෙසෝට් සමඟ එක්ව EHL සරසවිය මගින් පිරිනමන වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්. ඒ හරහා සංචාරක සේවා කර්මාන්තයට උසස් හැකියාවන්ගෙන් යුතු වෘත්තීකයින් බිහිකිරීමට හැකිවන අතර, එය ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල මඟසලකුණක් ලෙස හැඳින්විය හැකියි″, යනුවෙන් නව සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.  

″මෙම සහයෝගීතාව, සිනමන් හෝටල් සහ රෙසෝට් ජාලය වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයටත්, විශේෂයෙන්ම කර්මාන්තය නැවත පණගැන්වෙමින් ඇති මේ මොහොතේ, නිර්මාණය වූ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා සන්නාමය වන සිනමන් හෝටල් සහ රෙසෝට් ජාලය හා ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය එක්ව EHL පාඨමාලා පිරිනමන මෙම නව සහයෝගීතාව මගින් ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් දැවැන්තයින් දෙදෙනෙකුගේ එක්වීමක් සනිටුහන් වනවා. හුදෙක් සංචාරක සේවා කර්මාන්තය තුළ ඇති කුසලතා හිඟය මඟහරවාගැනීමෙන් ඔබ්බට ගොස්, සංචාරක සේවා අධ්‍යාපනයේ සහ පුහුණුවේ අධ්‍යාපනික කඩයිම් ඉහළට ඔසවා තබමින්, තරුණ සහ අත්දැකීම් සහිත වෘත්තීකයින් සවිබලගැන්වීමටත්, ඔවුන් රට හැර යාම වළක්වා ගැනීමටත් හැකිවනු ඇත. අපි හඳුන්වාදී ඇති ‘Learn, Work & Earn’ පාඨමාලා ආකෘතිය තුළින් ඵලදායීතා හානිවීම අවම කරමින් සේවා විශිෂ්ටත්වය පවත්වාගැනීමටත් හැකිවනු නොඅනුමානයි″, යනුවෙන් සිනමන් හෝටල් සහ රෙසෝට් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මිහායෙන් ස්වෙන්සන් මහතා පැවසුවේය. 

″සිනමන් හොටෙල් සහ රෙසෝට් ජාලය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සමඟ එක්ව කොළඹදී, EHL හි වෘත්තීය පුහුණු පාඨමාලා පිරිනැමීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා.  ලොව කීර්තිමත් ස්විස් කුසලතා ක්‍රියාරාමුව පදනම් කරගනිමින් නිර්මාණය කරඇති මෙම පාඨමාලාවල අරමුණ වන්නේ තරුණ ප්‍රජාව තුළ ගෝලීය සංචාරක සේවා කර්මාන්තයට අදාළ දැනුම, කුසලතා සහ මානසික සූදානම සකස් කිරීමයි. වර්තමානයේදී මෙම පාඨමාලා රටවල් 17ක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා″, යනුවෙන් EHL සරසවියේ අධ්‍යක්ෂ සහා කලාපීය ප්‍රධානී (දකුණු ආසියාව, මියන්මාරය සහ මැදපෙරදිග) අමන් ආදිත්‍ය සච්දෙව් මහතා අදහස් දැක්වූයේය. 

″ඒ වගේම සිනමන් හොස්පිටැලිටි ඇකඩමිය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තය තුළ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් නව මිනුම් දඬු සකසමින් සහ සංචාරක ක්ෂේත්‍රය වඩාත් පුළුල් කරමින්, සංචාරක සේවා වෘත්තීය අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළට ඔසවා තබනු ඇති බව විශ්වාසයි″ යනුවෙන් සච්දෙව් මහතා වැඩිදුරටත් පැවසුවේය. 

සිනමන් හොස්පිටැලිටි ඇකඩමිය ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් කැපවූ ප්‍රමුඛ ආයතනයක් වන අතර, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය යනු EHL සරසවිය මඟින් පිරිනැමෙන ආධුනිකත්ව පුහුණු ආකෘතිය රැගත් වෘත්තීය පුහුණු පාඨමාලා ශ්‍රී ලංකාවට පළමුව හඳුන්වාදුන් ආයතනය ද එය වේ. මෙම ආයතන දෙක එක්ව ඉදිරිපත් කරනු ලබන සහයෝගීතා පාඨමාලාව තුළින් සංචාරක සේවා ක්ෂේත්‍රයට අදාළ වටිනා අත්දැකීම් ලබාගැනීමට මෙන්ම ශක්තිමත් වෘත්තීය සබඳතා ජාලයක් ගොඩනඟාගැනීමටත් සිසුන්ට අවකාශ උදාවේ. පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සඳහා ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය මගින් EHL පුහුණුව සහ අවසරය ලත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සපයා තිබේ. 

ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමියේ අධ්‍යාපනය ලත් සිසුන්ගෙන් සියයට 92.3ක්ම එම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තම රැකියාවේ උසස්වීමක් හෝ නව රැකියාවක් ලබාගැනීමට සමත්වීම තුළින් එම පාඨමාලා ආකෘතියේ සාර්ථකත්වය හොඳින් විද්‍යාමාන වේ. තව ද පාඨමාලාව හැදෑරූ සිසුන්ගෙන් සියයට 75කට වැඩි පිරිසක් තරු 5 පන්තියේ හෝටල් ආශ්‍රිත රැකියා ලබාගැනීමට සමත්ව තිබීම ද පාඨමාලාවේ සාර්ථකත්වයට කදිම සාක්ෂියකි. 

සිනමන් හෝටල් සහ රෙසෝර්ට් යනු අසමසම සේවාවක් සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කීර්තියක් උසුළන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා සන්නාමයකි.  එය සතුව හෝටල් සහ රෙසෝර්ට් 15ක එකතුවක් එය සතු අතර, Cinnamon Life at City of Dreams Sri Lanka එහි නවතම සංචාරක සේවා ව්‍යාපෘතියයි. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිහිටා ඇති සිනමන් හොස්පිටැලිටි ඇකඩමියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සඳහා මේ වනවිට බඳවාගැනීම් සිදුවන අතර 2024 නොවැම්බර්  18 වැනිදා පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත ය. අනාගතයේ සාර්ථක හෝටල් වෘත්තිකයින් වීමට කැමැති ඔබට ද https://www.cinnamonhotels.com/academy වෙබ් අඩවිය හෝ +9471 383 5741 දුරකථන අංකය හෝ academy@cinnamonhotels.com ඊමේල් ලිපිනය හරහා වැඩිදුර තොරතුරු විමසීමට සහ පාඨමාලාවට ලියාපදිංචි වීමට හැක. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply