සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස තෝරා ගැනේ

Share with your friend

වෘත්තීය අලෙවි විශිෂ්ටත්වය තහවුරු කරමින් සහ එය තවදුරටත් පෝෂණය කරමින්, සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් (SFML), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මඟින් පවත්වනු ලබන SLIM National Sales Awards 2025 සම්මාන උළෙලේ නිල පෝෂණ සහකරු ලෙස හවුල්කාරීත්වයට එළඹ ඇත. 

SFML යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විවිධාංගීකරණය කරනු ලැබූ ප්‍රමුඛ පෙළේ පවුල් ව්‍යාපාරවලින් එකක් වන අතර, මෙහි මූලස්ථානය ඩුබායි හි අල් ගුරෙයාර් හි පිහිටා ඇත. වසර 16ක් පුරා ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ, කැපී පෙනෙන සමාගමක් ලෙස කටයුතු කරන SFML, ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ පෙරදැරිව රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ප්‍රමුඛතම මෙහෙවරක් ගෙන යනු ලබයි. 

මෙම හවුල්කාරීත්වය විධිමත් කිරීම සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් පසුගිය දා සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ආයතනයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට SFML නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරි, විජේ ශර්මා, සන්නාම හා ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ, කාලිංග විජේසේකර සහ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් හි සහකාර සන්නාම කළමනාකරු, ෆයිසාල් ඩීන් සහභාගී විය.  SLIM නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී, චමිල් වික්‍රමසිංහ, වැඩසටහන් හා තිරසර බව පිළිබඳ උප සභාපති, එනොක් පෙරේරා, වැඩසටහන් හා තිරසර බව ප්‍රධානී, ගංගානී ලියනගේ, වැඩසටහන් හා තිරසර බව පිළිබඳ කනිෂ්ඨ විධායක, අවිෂ්ක අත්තනායක යන පිරිස සහභාගි විය.

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, 2019 වසරේ සිට SLIM සමඟ වෘත්තීය විශිෂ්ටත්වය උදෙසා සමීප හවුල්කාරීත්වයකින් කටයුතු කරනු ලබයි. මින් පෙර, Effie සම්මාන උළෙලේ සන්නාම විශිෂ්ටතා සම්මානය හා ජාතික අලෙවි සම්මානය සඳහා අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති SFML, 2024 වසර සඳහා ද අඛණ්ඩව සන්නාම විශිෂ්ටතා සම්මානය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.

එමෙන්ම, ‘දේශය පෝෂණය කිරීම’ උදෙසා සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ගෙන යන පුළුල් කැපවීම මෙන්ම ආර්ථික වර්ධනය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අලෙවි විශේෂඥයන්ගේ දායකත්වය ද මෙම හවුල්කාරීත්වය තුළින් මැනවින් පෙන්නුම් කෙරෙන බව සඳහන් කළ හැකිය. ජාතික තලයේ සම්මාන උළෙලක, නිල පෝෂණ සහකරු ලෙස සම්බන්ධ වීම තුළින් අලෙවි ක්ෂේත්‍රය නඟා සිටුවීමටත්, සමාජ හා ආර්ථික ක්ෂේත්‍ර තුළ අලෙවි වෘත්තියේ වටිනාකම් හා ගෞරවාන්විත බව සවි බල ගැන්වීමටත් සමාගම අපේක්ෂා කරයි. 

ආහාර නිෂ්පාදනයේ ගුණාත්මක හා නවෝත්පාදන නිපැයුම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, මෙම හවුල්කාරීත්වය, වෘත්තීය වර්ධනය හා විශිෂ්ටත්වයට ලැබුණු දැවැන්ත සහයෝගයක් ලෙස මෙන්ම, ජාතික සංවර්ධනයට දායක වීම පිළිබඳ ආයතනික දැක්මේ තවත් එක් දිගුවක් බව විශ්වාස කරයි.

25වන වසරට පා තබන SLIM ජාතික අලෙවි සම්මාන උළෙල, 2000 වසරේදී අර්ධ දින පුහුණු සැසියක් ලෙස ආරම්භ කරනු ලැබූවකි. අද වන විට එය ශ්‍රී ලංකාවේ අලෙවි ක්ෂේත්‍රයේ කුසලතා ඇගයීම උදෙසා ඇති ප්‍රමුඛතම ජාතික වේදිකාවක් බවට පත්ව ඇත. NASCO ලෙස ඇරඹී, 2023 දී ජාතික අලෙවි සම්මාන උළෙල දක්වා පැමිණි ගමන්මඟ තුළ, ව්‍යාපාර-ව්‍යාපාර හා ව්‍යාපාර-පාරිභෝගික අංශවල අලෙවි විශිෂ්ටත්වය පිළිබඳ වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් බවට මෙම සම්මාන උළෙල පත්ව ඇත. වසර ගණනක් පුරා වර්ධනය වෙමින් පැමිණි මෙම සම්මාන උළෙල, ක්ෂේත්‍රයන්ගේ සිදුවන වෙනස්කම් හඳුනාගනිමින් ඒවාට ගැළපෙන අයුරින් විවිධ අංශ නියෝජනය කරන, විවිධ භූමිකාවන්ට ගැළපෙන නව කාණ්ඩ රැසක් ද හඳුන්වා දී ඇත. 2025 වසර සඳහා සමාගම් 112කට වැඩි ප්‍රමාණයකින් අයදුම්පත් 1,200කට අධික ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

SLIM ජාතික අලෙවි සම්මාන උළෙල, වර්තමාන තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ අලෙවි වෘත්තිකයන් විසින් ඉටු කරන විවිධ භූමිකාවන් හඳුනා ගනිමින්, විවිධ කාණ්ඩ ඔස්සේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ලබයි. මෙම සම්මාන උළෙල ඇගයීම් පිරිනමන ජාතික වේදිකාවක් ලෙස මෙන්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ඔවුන්ගේ අත්දැකීම් හා යහභාවිතයන් පිළිබඳ වටිනා අදහස් බෙදාහදා ගැනීමට අවස්ථාව උදා කර දෙන ජාලකරණ වැඩසටහනක් ලෙස ද හඳුන්වා දිය හැකිය.


Share with your friend