සෙලාන් බැංකුව අඛණ්ඩව 13 වන වරටත් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනයේ නාම හවුල්කරු (Title Partner) බවට පත්වෙයි 

Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම ප්‍රදර්ශනයේ 2025 අදියර මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ දී නරඹන්නන්ට නිවාස ඉදිකිරීම හා අලංකරණය සම්බන්ධ නිෂ්පාදන හා සේවා රාශියක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. 

(වමේ සිට) Asia Exhibitions and Conventions පුද්. සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරිනී ශාමලී ජයරත්න, එම සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රසේකර, සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න සහ එම බැංකුවේ ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න යන මහත්ම මහත්මීන්  

මෙම ප්‍රදර්ශනයේ නිවාස හිමිකරුවන්ට, ගැනුම්කරුවන්ට සහ දේපළ වෙළඳාම්  ක්ෂේත්‍රයට වැදගත් වන සේවාවන් රැසක් පිරිනැමීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. නිවාස ණය, පුද්ගලික ණය, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් මෙන්ම වත්කම් හා වගකීම් සේවා ඇතුළු සේවාවන් රැසක් ඊට ඇතුළත් වී තිබේ. ප්‍රදර්ශනයේ පිහිටා ඇති සෙලාන් බැංකු කුටියට පැමිණ මෙම සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වනු ඇත. 

කැදැල්ල ප්‍රදර්ශනයේදී නරඹන්නන්ට පහසුවෙන් ලබාගත හැකි සරල මූල්‍යමය විසඳුම් පිරිනැමීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ. ඒ සඳහා නරඹන්නන්ට මගපෙන්වීමට සෙලාන් බැංකුවේ ‘නිවාස ණය විශේෂඥයන්’ පිරිසක් සූදානමින් සිටිති. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ සෙලාන් නිවාස ණය සහ පුද්ගලික ණය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට අමතරව එම ක්‍රියාවලිය පුරාම ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට මෙම නිවාස ණය විශේෂඥයන් කටයුතු කරනු ඇත. 

එමෙන්ම වැඩි වන විදුලි බිලට විසඳුමක් වශයෙන් සෙලාන් සූර්ය බලශක්ති ණය පහසුකම් සඳහා අයදුම් කිරීමටද කැදැල්ල ප්‍රදර්ශනය නරඹන්නන්ට අවස්ථාව හිමි වේ. මේ සඳහා සෙලාන් බැංකුව මේ වන විට රටේ ප්‍රමුඛ පෙළේ සූර්ය බලශක්ති සමාගම් 35 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටී. සහනදායී පොලී අනුපාත යටතේ මෙම සූර්ය බලශක්ති ණය පහසුකම් පිරිනමනු ලැබේ. 

සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසුවේ කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග නැවත වරක් මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත් වන බවයි. මෙය නිවාස හිමිකරුවන්ට විශිෂ්ට තලයේ මූල්‍ය සේවාවන් පිරිනැමීම සඳහා තමන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බවත්, එමගින් ඔවුන්ට නව නිවාස ඉදිකිරීමට මෙන්ම පවතින නිවාස අලුත්වැඩියා කරගැනීමට හැකි වන බවත් ඒ මහතා පැවසීය. 

මෙවර කැදැල්ල ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත. නිවාස හිමියන්ට පමණක් නොව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවලටද තමන්ට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය, ගෘහභාණ්ඩ, ගෘහ අලංකරණ කටයුතු, වහළ සෙවිලි කිරීමේ නිෂ්පාදන, ආරක්ෂණ පද්ධති, ගෘහ නිර්මාණ හා ඉංජිනේරු සේවා සහ රක්ෂණ සේවා ඇතුළු තවත් භාණ්ඩ හා සේවා රාශියක් මෙහිදී දැකබලාගත හැකි වේ. 

ඡායාරූපය: (වමේ සිට) Asia Exhibitions and Conventions පුද්. සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරිනී ශාමලී ජයරත්න, එම සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රසේකර, සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න සහ එම බැංකුවේ ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න යන මහත්ම මහත්මීන්  


Share with your friend