34 වන රිට්ස්බරි කණිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය 2023 උද්වේගකර ලෙස අවසන් වෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමයවන රිට්ස්බරි විසින් බලගන්වන ලද, 34 වන රිට්ස්බරි කණිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය 2023 පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. එම ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

ජාතික මට්ටමින් ස්කොෂ් ක්‍රීඩාව නගාසිටුවීමටත්, එම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින රිට්ස්බරි, අඛණ්ඩව 15 වන වරටත් මෙම කීර්තිමත් ශුරතාවලිය සඳහා විශ්වසනීය අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. සැප්තැම්බර් 9 වනදා ආරම්භ වූ මෙවර ශූරතාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය පසුගිය වසරේ සහභාගීත්වය සමග සැසඳීමේදී 40% ක දැවැන්ත වර්ධනයකි. වයස අවුරුදු 09, 11, 13, 15, 17 සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ මෙවර  ශූරතාවලියේදී සිය දස්කම් විදහා දක්වන ලදී.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් කණිෂ්ඨ පිරිමි කාණ්ඩයේ ජාතික ශූරතාවලිය හිමිකර ගත් අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ සෙහත් පෙරේරා සහ මතීෂ විජේසේකර පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත්හ. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලේ කණිෂ්ඨ කාන්තා ජාතික ශූරිය බවට පත්වූ අතර, එම විද්‍යාලයේ ම තේමිණී පල්ලියගුරු දෙවන ස්ථානය හිමිකර ගත්තාය. 

“රිට්ස්බරි කණිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය, වසරේ ප්‍රමුඛත ම ස්කොෂ් තරගාවලියක්වන අතර එය, දිවයින පුරා විසිරී සිටින නැගීඑන ක්‍රීඩකයින් පෝෂණය කරන වේදිකාවක්.රිට්ස්බරි සමාගම ක්‍රීඩාවේ උන්නතිය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම, ස්කොෂ් තරග සඳහා සහභාගීත්වය වර්ධනය කිරීමටත්, අනාගත ස්කොෂ් ශූරයින් බිහි කිරීමටත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ (SLSF) සභාපති ධම්මික විජේසුන්දර මහතා සඳහන් කළේය.

CBL Foods International ආයතනයේ සාමන්‍යාධිකාරී-අලෙවි, නිලුපුල් ද සිල්වා මහතා ද සිය අදහස් පළ කළේය. “රිට්ස්බරි, දශකයකට අධික කාලයක පටන් මෙරට ස්කොෂ් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දී තිබෙනවා. ස්කොෂ් ක්‍රීඩාව සඳහා ඇති උනන්දුව මෙන්ම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ කුසලතාවල සිදු වී ඇති වර්ධනය පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.”


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply