AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අකණ්ඩව 2වන වසරටත් ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකත්වයෙන් පිදුම් ලබයි!

Share with your friend

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 2වන වසරටත් ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකයට හිමිකම් ලද බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටින අතර ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුල පාරිසරික තිරසර බව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කිරීමට ඇති කැපවීම පිළිබඳවත් තවදුරටත් තහවුරු කර සිටියි.  මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසාර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සිදු කරන්නා වූ ප්‍රයත්නයන් ඇගයුමට ලක්කරයි.  මෙම සුදුසුකම් ගැන්වීම උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදුකෙරේ.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නැවත වරක් හරිතාගාර වායු විමෝචනය මැනීමට සහ අඩු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරමින් සමස්ත සමාගම පුරාවට එම කර්තව්‍ය සඳහා සහභාගීත්වයක් ඇතිබව තහවුරු කර ඇත.  සමාගම තුල හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා මුලපිරීම් කිහිපයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින අතර,  ඒ සඳහා කඩදාසි වලින් තොර සේවා පරිසරයක් ඇති කිරීම, කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිතාවන ආලෝකකරණය සහ විවිධ උපාංග භාවිතය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය යන කරුණු සඳහන් කල හැකිය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සිය අදහස් දක්වමින් කියා සිටියේ ” ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අඛණ්ඩව 2වන වසරටත් අත්කර ගැනීමට හැකිවීම අපට මහත් අභිමානයක්.  AIA හි අපි පරිසරයට අඩුම බලපෑමක් ඇතිවන අයුරින් තිරසාර යහක්‍රියාවන් අනුගමනය කරන අතර සැමට සුවදායක හරිත අනාගතයක් උදාකර දීම සඳහා දායකත්වය ලබාදීමට කැපව කටයුතු කරමින් සිටිනවා.  ඇය තවදුරටත් කියා සිටියේ, “මූල්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක වන සමාගම්, පරිසරය හා සම්බන්ද මෙවැනි සහතික කිරීම් අත්කර ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවූවත් AIA හි අපට එය වඩාත් ඉහල ප්‍රමුඛතාවයක් ලෙස සලකන්න වන්නේ එය අපගේ සන්නාම ප්‍රතිඥාව වන ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ලාබා දීමට සහාය වීම යන්න සමගින් ඉතා සමීපව බැඳී ඇති නිසයි.  ඒ වගේම අප සමාගම මෙසේ සහතික ගැන්වීම, ඇගයීමට ලක්වීමකින් ඔබ්බට යන කරුණක් වන්නේ තිරසාරබව සඳහා අපගේ ඇති කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු වන නිසයි.”

මෙම සහතිකය නැවත වරක් හිමිකර ගැනීම AIA ශ්‍රී ලංකා හි තිරසාරත්ව ගමන්මග තුල වැදගත් සන්ධිස්ථානයක්  සනිටුහන් කරන  අතර, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල තිරසාරබව වෙනුවෙන් සිදුකරන්නා වූ යහක්‍රියාකාරකම් ප්‍රවර්ධනයේ නායකත්ව භූමිකාව තවදුරටත් මේ ඔස්සේ ශක්තිමත් වෙනු ඇත.


Share with your friend