CILT Sri Lanka ආයතනය, CILT ජාත්‍යන්තර සම්මේලනයේ සාඩම්බර සත්කාරකත්වය දරමින්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය අත්කර දීමට සැරසෙයි

Share with your friend

ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන කටයුතු සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන, ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය (CILT Sri Lanka), මෙම වසරේ පැවැත්වෙන CILT International Convention 2025 සමුළුවේ සාඩම්බර සත්කාරකත්වය දරනු ලබයි. ක්ෂේත්‍රයේ කීර්තිමත්ම ජාත්‍යන්තර උළෙලක් වන මෙම සමුළුව, 2025 සැප්තැම්බර් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ Cinnamon Life – City of Dreams හිදී පැවැත්වේ. “අනාගතයට සූදානම් ක්‍රම කාර්ය සම්පාදනය : වෙනසට අනුගතව, තිරසාරත්වය කරා මෙහෙයවීම” යන තේමාවෙන් යුතුව මෙම අභිමානවත් සමුළුව පැවැත්වීමට නියමිතය. 

ගෝලීය ක්‍රම කාර්ය සම්පාදන සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ  නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රටවල් 30කට අධික සංඛ්‍යාවක, නිලධාරීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, විද්වතුන් මෙන්ම ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන වෘත්තිකයින් 150කට වැඩි පිරිසක් ඒකරාශී කරමින් ඇරඹෙන සමුළුව, දින හතරක් පුරා පැවැත්වේ. මෙහිදී, ක්‍ෂේත්‍රයේ වත්මන් හා අනාගත හැඩරුව හඳුනාගැනීමට අවස්ථාව සලසමින්, ප්‍රවණතා හා නවෝත්පාදන මෙන්ම, ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ද ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරමින් ලෝ ප්‍රකට විශේෂඥයින් විසින් දේශන පවත්වනු ලැබේ. ඒ, ඊට සහභාගී වන පිරිසද සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී වැඩමුළු හා සාකච්ඡාද ඇතුළත්වය. එම සැසි හරහා තම ක්ෂේත්‍රයේ පිරිස් හා අදහස් හුවමාරු කර ගනිමින්, සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මහඟු  අවස්ථාවක් සහභාගි වන පිරිසට උදාවන අතර, ඊට සමගාමීව පැවැත්වෙන, වෘත්තීය විශිෂ්ටත්වය උදෙසා වන කීර්තිමත් CILT සම්මාන උළෙලටද ඔවුන්ට එක්විය හැක. මේ හැරුණු විට, සමුළුවේ සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ලොවට විදහා දක්වමින්, ඊට සමගාමීව සංස්කෘතික චාරිකාවක්ද සංවිධානය කර තිබේ. මෙරට සංචාරක ක්ෂේත්‍රයටත්, ඒ ආශ්‍රිත අනෙකුත් කර්මාන්තවලටත් සමුළුව මගින් යහපත් බලපෑමක් උදා කිරීමට එම සංචාරය ඉවහල් වේ. 

CILT Sri Lanka ආයතනය විසින් මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීම පිළිබඳව එහි සභාපති චන්දිම හුලංගමුව මහතා සඳහන් කළේ එය, “ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ගෝලීය ක්‍රම කාර්ය සම්පාදන ප්‍රජාවටම වැදගත් සන්ධිස්ථානයක්” බවයි. එමෙන්ම, වඩාත් සම්බන්ධ වූ වර්තමාන ලෝකයේ, අතිශයින්ම වැදගත් මාතෘකා ලෙස තාක්ෂණය, සැපයුම් දාම ක්‍රමවේද, චක්‍රීය ආර්ථිකය මෙන්ම, තිරසාරත්වය ආදිය මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බවද ඔහු පැවසීය. “මෙම සමුළුව තුළින් ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයක්ම නියෝජනය කෙරෙනවා. සමුළුවට සහභාගි වන ජාත්‍යන්තර නියෝජිතයින්ට, මෙය දැනුම හුවමාරු කර ගැනීමටත් නවෝත්පාදන පිළිබඳ දැනුවත් කිරීමටත් හැකි අගනා ජාත්‍යන්තර වේදිකාවක්. එපමණක් නොවෙයි, ඉන්දීය හා දකුණු ආසියානු සාගර කලාපයේ තරඟකාරී ක්‍රම කාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටත් මෙය බෙහෙවින් වැදගත් වෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අදහස් දැක්විය. 

මෙම සමුළුවේ සභාපතිනි ගයාත්‍රි කරුණානායක මහත්මිය සඳහන් කළේ සමුළුව තුළින්, ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානයේ යොමුකරන බවයි. “වර්තමාන‌යේ අප ගෙවන්නේ, ආර්ථික ශක්තිය වෙනස් වන, වසංගත, භූ දේශපාලනික වශයෙන්  පීඩාකාරී තත්වයන් මෙන්ම දේශගුණික විපර්යාස සහ වේගවත් තාක්ෂණික දියුණුවකින් පිරුණු යුගයක්. මේ යුගයේ වෙනසට අනුවර්තනය වීමත් නවෝත්පාදන බිහි කිරීමත්, අතිශයින් වැදගත් සාධක බවට පත්වී තිබෙනවා.” යනුවෙන් ඇය පැවසුවාය. “දේශීය වෘත්තිකයන් ඇතුළුව ලොව සෑම කලාපයකින්ම සියයකට අධික විදේශීය නියෝජිතයින් ඒකරාශී කරමින් පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන අරමුණ, වෙනස් චින්තන දිරිගන්වමින්, හොඳම ක්‍රමවේද හුවමාරු ගනිමින්, වෙනස් වන ගෝලීය තත්ත්වයන් හමුවේ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මගපාදන සහයෝගීතාවන් වැඩි කිරීම” බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

1919 වසරේදී පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් අනතුරව, ලන්ඩන් හි ආරම්භ කරන ලද, ශ්‍රී ලංකා වරලත් ක්‍රම කාර්ය සම්පාදන හා ප්‍රවාහන ආයතනය CILT), මේ වන විට රටවල් 30 කට අධික සංඛ්‍යාවක සිය මෙහෙයුම් කටයුතු සිදුකරන, ක්‍රම කාර්ය සම්පාදන, සැපයුම් දාම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛතම ගෝලීය වෘත්තීය ආයතනයක් වෙයි. එමෙන්ම, එය ක්ෂේත්‍රයේ විශේෂභාවය, පුහුණුව සහ වෘත්තීය ප්‍රමිතීන් සම්බන්ධයෙන් ලොව පුරා ගෞරවය දිනාගත් ආයතනයක් වන අතර, එය අද වන විට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රම කාර්ය සම්පාදන වෘත්තිකයන් රැසක් ලොවට දායාද කරන ආයතනයකි. 

1984 වසරේදී වරලත් ප්‍රවාහන ආයතනය ලෙස පිහිටුවනු ලැබූ CILT Sri Lanka ආයතනය, එහි ශක්තිමත් පාලනය, නායකත්වය සහ පුළුල් වන සාමාජිකත්වය ආදිය විදහා දක්වමින්, 2012 වසරේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය සනිටුහන් කිරීමට සමත් විය. ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් මෙහෙයවනු ලබන CILT SL මගින් මෙරට ක්‍රම කාර්ය සම්පාදන සහ ප්‍රවාහන ක්ෂේත්‍රය හැඩගැස්වීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කෙරේ. ඒ යටතේ තවත් අංශ/ වැඩසටහන් දෙකක්ද ක්‍රියාත්මක වන අතර, WiLAT (ක්‍රම කාර්ය සම්පාදන සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාන්තාවන්) ස්ත්‍රී පුරුෂ විවිධත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා කටයුතු කරයි. තරුණ වෘත්තිකයන් අතර නායකත්වය සහ නවෝත්පාදනය බිහිකිරීම කටයුතු කරන්නේ, Next Generation Forum හරහාය. 


Share with your friend