Daiki Axis Environment (Pvt) Ltd සමාගම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT), සහයෝගීතාවය ඇතිව මෙරටේ තිරසර වූ අපජල කළමනාකරණයේ අනාගත ගමන් මග සහතික කරමින්, ජපානයේ Johkasou මොඩියුල අපජල පිරිපහදු පද්ධතිවල තෙවන පාර්ශවීය කාර්ය සාධන තක්සේරු කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා පරිසර හිතකාමී පිරිපහදු තාක්ෂණයන් මගින් ශ්‍රී ලංකාවේ දියුණුවන නගරවල නාගරික දූෂණය වැළැක්වීමට සහ පාරිසරික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමට සාධනීය වූ සහයක් ලැබේ.



මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේ මාස 14 ක් පුරා පවත්වන ලද මෙම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මගින්, විවිධ මෙහෙයුම් තත්ත්වයන් යටතේ XH (1000L, ගෘහස්ථ) සහ BC (2500L, ප්‍රජා භාවිත) යන Johkasou ආකෘති දෙක තක්සේරු කරන ලදී.
ජපන් රජයේ ප්‍රමිතීන්ට අනුකූලව මෙරටේ අපජල මූලාශ්‍ර භාවිතා කරමින් පද්ධති පරීක්ෂාව සිදු කරන ලදී. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අපජලය පිරිපහදු නිෂ්පාදන සඳහා එවැනි කාර්ය සාධන ප්‍රමිතීන් නොමැති අතර ඒවා ස්ථාපිත කිරීම හරහා කර්මාන්තවල ගුණාත්මක අගය මට්ටම ඉහළ නැංවිය හැකිය.
මෙම ව්‍යාපෘතිය SLIIT නවෝත්පාදන (SLIIT Innovate) හරහා ක්‍රියාත්මක කරනු ලැබූ අතර, එය ශාස්ත්‍රීය-කර්මාන්ත සහයෝගීතාවයන්, පර්යේෂණ හා ප්‍රායෝගික පාරිසරික විසඳුම් සමගින් ඒකාබද්ධ කළ හැකි ආකාරය විදහා දක්වයි.
Johkasou තාක්ෂණය ශ්‍රී ලාංකාවේ තත්ත්වයන් තුළ පෙන්නුම් කළ ප්‍රතිඵල
Johkasou පද්ධති යනු ස්වායු සහ නිර්වායු ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් ඒකාබද්ධ කරනු ලබන සංයුක්ත පිරිපහදු ඒකක වේ. ජපානයේ මධ්‍යගත අපජල පවිත්‍රකරණ පද්ධති නොමැති ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම ඒකකවල විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරීත්වයේ පහසුව හුදෙක් අගය කරනු ලබයි.
SLIIT පරිශ්‍රයේදී ජලය ගලා ඒමේ අනුපාත සහ ජලයේ ගුණාත්මක භාවයේ වෙනස්කම් කරමින් මෙම පද්ධති විවිධාකාර වූ අදියර කිහිපයක් ඔස්සේ පරීක්ෂාවට ලක් කරන ලදී. අපේක්ෂා කළ ප්‍රතිඵල පෙන්නුම් කරමින්, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (Biochemical Oxygen Demand – BOD) 85% කින් හා රසායනික ඔක්සිජන් ඉල්ලුම (Chemical Oxygen Demand – COD) 80% ට වඩා අඩු කිරීමට මෙම පද්ධති වලට හැකි බව පෙන්නුම් කෙරිණි. එමෙන්ම එහි සම්පූර්ණ ඝන ද්‍රව්‍ය (Total Suspended Solids – TSS) 85% ට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමටද හැකි විය. සමස්ත නයිට්‍රජන් (T-N) ඉවත් කිරීම සාමාන්‍යයෙන් 40–50 mg/L වූ අතර, එය ප්‍රබල නයිට්‍රීකරණය සහ අර්ධ වශයෙන් නයිට්‍රීකරණ ගුණාංග පෙන්නුම් කරයි. සාර්ථකව ක්ෂුද්‍රජීවීන් මර්ධනය පාලනය කරමින්, පද්ධති තුළ ස්ථාවර pH අගය සහ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම් පවත්වා ගෙන යා හැකි බව සනාථ විය. ද්‍රාව්‍ය පොස්පේට් ඉවත් කිරීම සීමිත වුවද, ජීව විද්‍යාත්මක පද්ධති සඳහා සාමාන්‍ය දෙමුහුන් පිරිපහදු ක්‍රම මගින් මෙය වැඩි දියුණු කළ හැකිය.
මෙම පරික්ෂා කිරීම් මත පදනම්ව, SLIIT ආයතනය සහ Daiki Axis ශ්‍රී ලංකා සමාගම එක්ව අපජලය තවදුරටත් පිරිපහදු කර නැවත භාවිතාවන් සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම මගින් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා පර්යේෂණ ප්‍රදානයක් අත්කරගෙනද ඇත.
ජපානයෙන් පාඩම් : සාර්ථකත්වය සඳහා තාක්ෂණික සැලැස්මක්
වේගවත් කාර්මිකකරණය හේතුවෙන් විශාල වශයෙන් පරිසර දූෂණයක් සිදු වූ, 1960 සහ 70 දශකයන් වලදී ජපානයේ Johkasou තාක්ෂණය බිහි විය. ඊට ප්‍රතිචාර දක්වමින් ජපන් රජය 1983 වසරේදී Johkasou නීතිය බලාත්මක කළේය. ඒ තුළින් මධ්‍යගත අපජල පද්ධති නොමැති ප්‍රදේශවල Johkasou අපජල පද්ධති භාවිතා කිරීම අනිවාර්ය කෙරිණි. ඉන් අනතුරුව ආධාර සහ දැඩි ප්‍රමිතීන් සමගින් මෙම මුලපිරීම පුළුල් අයුරින් භාවිතා කිරීමට පටන් ගැනින.
මෙම තීරණයේ ප්‍රතිඵල පරිසර දුෂණය කැපී පෙනෙන අයුරින් අඩු කිරීමට හේතු විය. විශාල වශයෙන් දූෂණයට ලක්ව තිබූ ගංගා සහ වැව් ක්‍රමක් ක්‍රමයෙන් ජීවයක් ලබමින්, ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් වෙමින් හා මහජනතාවගේ සෞඛ්‍යය මට්ටම වර්ධනය විය. ඒ අනුව Johkasou පද්ධති ජපානයේ පාරිසරය යථා තත්ත්වයට පත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය.
ශ්‍රී ලංකාවට ජපානය ගිය මාර්ගයේ ගමන් කළ හැකිද?
අද වන විට, ශ්‍රී ලංකාවේ බොහෝ අර්ද නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යගත වූ අපජල පද්ධති නොමැත. අනවසර ලෙස නිවාස හා කර්මාන්ත මගින් මුදා හරින පිරිපහදු නොකළ අපජලය හේතුවෙන් ගංගා, ඇළ මාර්ග සහ වෙරළබඩ කලාප අඛන්ඩව දූෂණයට ලක් වේ.
ජපානයේ Johkasou නීතියට සමාන නීතිමය රාමුවක් හඳුන්වා දීමෙන්, අපජලය පිරිපහදු නොකෙරෙන කලාපවල අපජල පිරිපහදුව අනිවාර්ය කළ හැකිය. මෙමගින් ලවණ සහ රෝග කාරක ප්‍රභවයන් ජලමූලාශ්‍ර සමග මිශ්‍ර වීම විශාල ලෙස අඩු කරනු ඇත. එමෙන්ම ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන අතර ජලය මගින් හටගන්නා රෝග ව්‍යාප්තිය ද අවම කරයි. තවද, පිරිපහදු කළ අපජලය පානීය නොවන අවශ්‍යතා සඳහා නැවත භාවිතා කළ හැකි අතර, ඒ මගින් මිරිදිය ජල සම්පත් පරිභෝජනය අවම කර ගත හැකි වේ.
මධ්‍යගත පද්ධති සඳහා වන ධාරිතාව අඩු කිරීමෙන් එම පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනු ලබයි. මධ්‍යගත පද්ධති ජල ගැලීම් වලට ගොදුරු විය හැකි සහ දුරස්ථ ප්‍රදේශ සඳහා යෝග්‍ය වනු ඇත. Johkasou වැනි මොඩියුලර් පද්ධති දේශගුණික අනුවර්තනයට සහ ආපදාවන් වලදී ඔරොත්තු දීමේ හැකියාව සහිත යටිතල පහසුකම් සමගින් හොඳින් පෙළගැසෙනු ඇත.
තිරසර වූ අනාගතයක් උදෙසා
Johkasou පද්ධති, ක්‍රමයෙන් භාවිතා කිරීම තුළින් නිෂ්පාදන, ස්ථාපනය සහ නඩත්තු ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ඇති කිරීමෙන් දේශීය ආර්ථික තත්ත්වයන් වර්ධනය කළ හැකිය. එය පාරිසරික ව්‍යවසායකත්වය සහ කුසලතා සංවර්ධනය සඳහා අවස්ථා ලබා දෙනු ඇත.
SLIIT ආයතනය, Daiki Axis ශ්‍රී ලංකා සමාගම හා එක්ව කළ අධ්‍යයනයෙන් පිළිබිඹු වන්නේ Johkasou පද්ධති තාක්ෂණිකව පමණක් නොව, විවිධ තත්ත්වයන්ට අදාළ වන ආකාරයෙන් ද ශ්‍රී ලංකාවට ගැලපෙන බවය. ඉදිරියේදී නියාමන ප්‍රමිතීන් ස්ථාපිත කිරීම, නිෂ්පාදන සහතික කිරීම, වෘත්තිකයන් පුහුණු කිරීම සහ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවයන් මත මෙහි පරිමාණය වැඩි කිරීමට හැකිය.
සහයෝගී ප්‍රතිපත්ති සහ ප්‍රජා සහභාගීත්වය ඇතිව, අනාගතය උදෙසා වර්තමානයේ පවතින අභියෝග ජය ගනිමින්, ශ්‍රී ලංකාවට පිරිසිදු ජල මාර්ග සහ චක්‍රීය ජල පරිභෝජනය වෙනුවෙන් තිරසර වූ පියවරක් තැබිය හැකිය.