DFCC බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා නිර්මාණශීලී මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා, විශේෂයෙන්ම මූල්‍ය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රම (Value Chain Financing schemes) ඇතුළුව විවිධාකාරයේ නිර්මාණශීලී ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දීමට මෑතකදී සිට කටයුතු කර තිබේ. මෙම DFCC බැංකුවේ ණය යෝජනා ක්‍රමය නිසා, මෙරට ආර්ථිකයේ වැදගත් අංගයක් වන කිරි නිෂ්පාදන කර්මාන්තයෙහි නියුතු කිරි ගොවීන්ට, දුෂ්කර ආර්ථික හා මූල්‍යමය තත්ත්වයන් හමුවේ පවා තම ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබී ඇත.

මෙරට කුඩා පරිමාණ ගොවීන් බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන, ප්‍රමාණවත් දීර්ඝකාලීන මූල්‍ය සම්පාදන පහසුකම් නොමැති වීම සඳහා විසඳුමක් ලබාදීම මෙම වැඩසටහන් වල ප්‍රධාන අරමුණයි. සමස්ත කිරි සැපයුම් හා නිෂ්පාදන කරුවන් සවිබල ගන්වමින්, ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීමට මෙමගින් උත්සාහ කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘Food for Progress’ වැඩසටහනේ අනුග්‍රාහකත්වය සමගින් දියත් කරන ලද Market Oriented Dairy (MOD)  වැඩසටහන සමග  DFCC බැංකුව ඇතිකරගත් හවුල්කාරීත්වය, මේ සඳහා එක් උදාහරණයකි. මෙම වැඩසටහන තුළදී, කිරි ගොවීන්ගේ අවශ්‍යතාවන් අනුව සැලසුම් කරන ලද ණය පහසුකම් ලබාදීම සිදුවිය. වැඩසටහන මෙහෙයවීම මෙන්ම, කිරි ගොවීන්ට සහ අදාළ වැඩසටහනට සෘජුව දායක වූ කාර්ය මණ්ඩලයට  තාක්ෂණික සහයෝගය ලබාදීම සිදුකරන ලද්දේ International Executive Service Corps (IESC) මගිනි.

මේ සඳහා තවත් උදාහරණයක් වන්නේ, ගොවි ප්‍රජාවන්හි සිටින කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් වෙත සංවර්ධන ණය පහසුකම් ලබාදීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහනයි. කිරි ගොවීන්ගේ ආදායම් ඉපයීමේ හැකියාවන් පුළුල් කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කර වැඩිදියුණු කිරීම මෙහි ඉලක්කය වී ඇත. චෙලෝ ඩේරි ප්‍රඩක්ට්ස් පුද්. සමාගම (Chello Dairy Products Pvt Ltd.) සමග එක්ව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේදී, ගොවීන් කිරි සපයන ආකාරය අනුව, ණය වාරික ගෙවීම් සෘජුවම DFCC ගිණුමක් වෙත බැරකිරීම සිදුවේ. මෙහිදී ගොවීන්ට තම ජීවනෝපාය සඳහා ශක්තිමත් පදනමක් හිමිවන ආකාරයට, ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී මූල්‍ය පහසුකම් ලබාදීමට DFCC බැංකුව කටයුතු කරයි. මීට අමතරව, වර්තමානයේ පවතින දුෂ්කර සමාජ-ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සතුටුදායක හා පූර්ව වශයෙන් එකඟ වූ අවදානම් ශ්‍රේණිගත කිරීමක් පිරිනැමීම සහ පිරිසැකසුම් ගාස්තු අඩු කිරීම ඇතුළුව විශේෂ සහන ලබාදීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියෙහි තවත් ඉලක්කයක් වන්නේ ගොවීන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම ය. ප්‍රවර්ධක සමාගම හරහා ලැබෙන ණය වාරික වලට අමතරව කිසියම් මුදලක් ගොවීන්ගේ ඉතුරුම් ගිණුම් වලට බැර වන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්තේ ඒ වෙනුවෙනි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ අප, විශේෂයෙන්ම කිරි නිෂ්පාදන  කර්මාන්තයට විශාල දායකත්වයක් ලබාදෙන කුඩා පරිමාණ කිරි ගොවීන් සවිබල ගැන්වීම ඔස්සේ, එම කර්මාන්තය නගාසිටුවීම සඳහා දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. අපගේ මෙහෙවරෙහි එක් වැදගත් අංගයක් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් මෙන්ම කිරි නිෂ්පාදන කරුවන්ද සවිබල ගැන්වීමයි. එමෙන්ම මේ දෙපිරිසටම මූල්‍ය සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ තාක්ෂණික හා මූල්‍යමය හවුල්කාරීත්වයන්ට එළඹීම ආදිය ඔස්සේ නිර්මාණශීලී මූල්‍ය සම්පාදන විසඳුම් රැසක් හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා. මේ සියල්ල, රටේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ සෞභාග්‍යය උදාකර දීම සඳහා අප දරමින් සිටින උත්සාහයට මනා උදාහරණ ලෙස පෙන්වා දීමට පුළුවන්.”

මේ ආකාරයට නිර්මාණශීලී මූල්‍ය සම්පාදන වැඩසටහන් රාශියක් ඔස්සේ කිරි ගොවීන් 1,000 කට වැඩි සංඛ්‍යාවකට (මෙම ව්‍යාපෘතියට බාහිරව ලබාදුන් ණය ද ඇතුළුව) ණය පහසුකම් ලබාදීමට සහ තවත් 300 කට අධික පිරිසකට තාක්ෂණික පුහුණුව ලබාදීමට DFCC බැංකුව කටයුතු කර ඇත. එමෙන්ම DFCC බැංකුව මේ වනවිට තවත් එබඳු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති 2 ක් සැලසුම් කරමින් සිටී. මේ සියල්ල, රටේ කිරි කර්මාන්තයේ දියුණුවට දායක වීම සඳහා DFCC බැංකුව දරන අඛණ්ඩ උත්සාහයට මනා උදාහරණ ලෙස දැක්විය හැකි ය.

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2021 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply