DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරය ආශ්‍රිත අපනයනකරුවන් ඇගයීමට ලක්කරයි

Share with your friend

DFCC බැංකුව මෙරට ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරය ආශ්‍රිත අපනයනකරුවන් සහ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් දක්වන දායකත්වය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළේ ය. කුරුඳු අපනයනය යනු ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛතම කර්මාන්ත අතරින් එකකි. 

මෙම වැඩසටහන යටතේ කුරුඳු අපනයනකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය පහසුකම් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කළේ ය. තෝරාගත් DFCC බැංකු ශාඛා හරහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් මාලාවක් ඔස්සේ මේ සඳහා කුරුඳු අපනයනකරුවන් සම්බන්ධ කරගන්නා ලදි. මෙම මූල්‍ය පහසුකම් දැනටමත් මෙරට කුරුඳු අපනයනකරුවන් රැසකට තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමට මහෝපකාරී වී තිබේ. මීට අමතරව කුරුඳු කර්මාන්තයේ ඵලදායීතාව හා අස්වැන්න ඉහළ නංවමින් එහි සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා, මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති විශේෂ මූල්‍ය පහසුකම් එම කර්මාන්තයේ ව්‍යාපාර වෙතටද ලබාදීමට DFCC බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දියුණුවට අපනයනකරුවන් සුවිශාල මෙහෙවරක් ඉටුකොට තිබේ. අභියෝග රාශියක් හමුවේ පවා පසුගිය කාලය තුළ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කිරීමට අපනයන ක්ෂේත්‍රය සමත් විය. විශේෂයෙන්ම කුළුබඩු අපනයන වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර, මේ අතරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු වලට ලෝකයේ ඇත්තේ දැඩි ඉල්ලුමකි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබීම, මෙම ඉල්ලුමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත. 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති (අපනයන බැංකුකරණ සේවා හා අපනයන ආශ්‍රිත ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ පැවසී ය. “ප්‍රධාන පෙළේ කුරුඳු ආනයනකරුවන් රටට විදේශ විනිමය රැගෙන එමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය අගයමින්, ඔවුන්ගේ අපනයන කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීමට උපකාරී වීම සඳහා, මේ ආකාරයට පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් එකතුවක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ මූල්‍ය සේවාවන් ඔස්සේ දිගින් දිගටම රටේ අපනයන කර්මාන්තයේ වර්ධනයට දායක වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දියුණුව හා සෞභාග්‍යය ඉලක්ක කරගෙන අප ක්‍රියාවට නංවා ඇති දීර්ඝකාලීන වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස හැඳින්විය හැකියි.” 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

Photo edit (3).png

DFCC බැංකුවේ උප සභාපති (අපනයන බැංකුකරණ සේවා හා අපනයන ආශ්‍රිත ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා (වමේ සිට 3 වැනියට), Grupo Canela (පුද්.) සමාගම (වමේ) සහ D-Triangle (පුද්.) සමාගම (දකුණේ) වෙත ඇගයීම් ඵලක ලබාදෙමින් 


Share with your friend