Home Lands Skyline, සුන්දර මීගමු කලපුවට මුහුණලා ඩොලර් මිලියන 40 ක අති-නවීන ව්‍යාපෘතියේ ඉදිකිරිම් අරඹයි

Share with your friend

ශ්‍රී ලංකාවේ දේපොළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Home Lands Skyline, ඇමරිකානු ඩොලර් මිලියන 40 ක සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් සමගින් සුන්දර මීගමු කලපු ප්‍රදේශය, ඓතිහාසික පරිවර්තනයක් කරා ගෙනයාමට සූදානම් වේ. ඒ, මීගමු කලපුවට මුහුණ ලා පිහිටි  අක්කර 7 කින් යුත් භූමි භාගයක් පුරා විහිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Tourists Resort Apartment සංකීර්ණය ඉදි කරමිනි.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සිට මිනිත්තු 10 කින් ළඟා විය හැකි දුරකින්, මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයටද යාබදව ඉදි කෙරේ. ආසන්නයේම පිහිටි අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5 කින් ළඟා වීමේ පහසුවද සමගින් මෙම ව්‍යාපෘතිය මගින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළම පහසුව සලකා ජාත්‍යන්තර මට්ටමේ අවන්හලක් හා සමාජ ශාලාවක් ඇතුළුව පහසුකම් 40 කට අධික ප්‍රමාණයක් පිරිනැමේ. එමෙන්ම, සංචාරකයින්ට කලපුව ආශ්‍රිත ක්‍රීඩාවල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වීමටත් අවස්ථාව සැලසේ. ඒ, ඉහළම සුවපහසුව හා ක්‍රියාකාරකම් පමණක් නොව, පාරිසරික වගකීම්ද ඉටු කෙරෙන පරිශ්‍රයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වන බැවිනි. සියලු පහසුකම් පිරි මෙම පරිශ්‍රය, ඒ සඳහා ආයෝජනය කරන පිරිසට දිනකට ඇමරිකානු ඩොලර් 125 දක්වා ආයෝජන ප්‍රතිලාභයකට ඉඩ සලසමින් මෙරට දේපොළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ලාභදායී ආයෝජන විකල්පයක්ද වනු ඇත.   

මෙම ව්‍යාපෘතිය ඉදි කෙරෙන්නේ, කුළුණු 5 ක පිහිටි අති නවීන මහල් නිවාස 280 ක් සහ සුඛෝපභෝගී විලා 40 ක් ඇතුළත්ව වන අතර, සෑම කුළුණක්ම මහල් 7 කින් සමන්විත වේ. එමෙන්ම, 2BR මහල් නිවාස 56 සමන්විතව කුළුණු දෙකක් ඉදි කෙරෙන අතර, වර්ග අඩි 900 – වර්ග අඩි 1095  ප්‍රමාණයේ ඉඩකඩ වලින් එහි මහල් නිවාස තෝරා ගැනීමේ පහසුව පවතී. අනෙකුත් කුළුණු 3, වර්ග අඩි 1270 – වර්ග අඩි 1375 බැගින් වූ ඉඩකඩ සහිත 3BR මහල් නිවාස  බැගින් සමන්විතව ය. 

මීගමු කලපුව අභිමුව ඉදි කෙරෙන මෙම  ව්‍යාපෘතිය පිළිබඳව, Home Lands සමූහයේ සභාපති නලින් හේරත් මහතා සිය අදහස් පළ කළේ මෙසේයි. “Home Lands හි අප විශ්වාස කරන්නේ, මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිමා මායිම් අඛණ්ඩව පුළුල් කිරීමට අපට හැකි බවයි. මෙම මනරම් පරිශ්‍රයේ නවීනතම නිවාස හා විලා සමගින් නූතන පහසුකම් ඇතුළත්ව මෙම ව්‍යාපෘතිය ඉදි කෙරෙන්නේ තිරසාර ඉදිකිරීම් ක්‍රමවේද අනුව වීම විශේෂත්වයක්. ජාත්‍යන්තර මට්ටමේ සුවපහසුව හා නවීනතම පහසුකම්, පහසුවෙන් ඒ වෙත පිවිසීමේ හැකියාව හා තිරසාරභාවය ඇතුළත් වන පරිදි මෙහි මූලික සැලැස්ම සකස් කර තිබෙන අතරම, ස්වභාවික වටපිටාවෙහි පාරිසරික සුන්දරත්වය සම්මිශ්‍රණය වූ වාස්තු විද්‍යාත්මක වශයෙන් කැපී පෙනෙන ව්‍යුහයක් ඊට ඇතුළත්.” 

ශ්‍රී ලංකාවේ නිශ්චල දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය කැපි පෙනෙන පරිවර්තනයකට ලක් කර ඇති Home Lands, CIDA (ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය) ඇගයීමද හිමිකර ගත්, CS2 ශ්‍රේණියේ ඉදිකිරීම් අංශය සතු, මෙරට එකම දේපොළ වෙළෙඳාම් සංවර්ධන ආයතනයයි. ක්ෂේත්‍රය වෙනුවෙන් වසරකට මහල් නිවාස 600ක් එක් කිරීමට කැප වී සිටින Home Lands, මේ වන විටත් නිමකර ඇති මහල් නිවාස 3,000කට අධික ප්‍රමාණයක් මෙන්ම, දැනටත් ඉදිවෙමින් පවතින මහල් නිවාස 1,800ක් සමඟින් මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ විසඳුමයි.  මෙරට දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන, පර්යේෂණ බුද්ධි ඒකකයෙහි (RIU) සංඛ්‍යාලේඛනවලට අනුව, අද වන විට, 58% ක විශාල වෙළෙඳ පොළ කොටසක්ද සමාගම සතු වේ. එමෙන්ම, මෑතක එම ආයතනය විසින්ම කරන ලද සන්නාම සමීක්ෂණයකට අනුව, නිවාස දේපොළ වෙළෙඳාම් අංශය තුළ, ජනතාවගේ කැමතිම සන්නාමය ලෙසින් වන පිළිගැනීමද, Home Lands වෙත හිමිව තිබේ. 

Home Lands Group විසින් අක්කර 55 ක භූමි භාගයක් පුරා  ඉදිකරන ලද, ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය, Canterbury Golf Resort Apartments and Villas නිවාස ඒකක 1,200කින් සමන්විත වේ. ගොල්ෆ් පිටියක් සහ ගොල්ෆ් සමාජ ශාලාවක් මැදිකරමින් ඉදිකෙරුණු එම නිවාස ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ගොල්ෆ් නිවාඩු නිකේතන සම්බන්ධ ප්‍රථම මහල් නිවාස සහ නිවාස ව්‍යාපෘතිය වන අතර, අද වන විට එම ව්‍යාපෘතිය සම්මාන රැසකින්ම පිදුම් ලබා තිබේ. මෙලෙසින්, මෙරට දේපොළ වෙළෙඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ Home Lands සම්මාන රාශියකින් පිදුම් ලැබීම තුළින් අවධාරණ කෙරෙන්නේ, ක්ෂේත්‍රය තුළ අඛණ්ඩ විශිෂ්ටත්වය විදහා පෑමට සමාගම නිරන්තරයෙන් දරන ප්‍රයත්නයයි.  


Share with your friend