HUTCH ලෝක තිරසාරත්ව දිනය වෙනුවෙන් පැළ බෙදාදීමක් ඇතුළු වැඩසටහන් මාලාවක් පවත්වයි 

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH පසුගියදා තම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් අතර පැළ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. ඔක්තෝබර් 26 දිනට යෙදුණු ලෝක තිරසාරත්ව දිනයට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, රැකියාවේදී මෙන්ම පෞද්ගලික ජීවිත තුළදී ජනතාව වැඩි වැඩියෙන් තිරසාර ජීවන රටාවන්ට හුරුකරවීම සඳහා දරනු ලබන උත්සාහයක එක් පියවරක් විය.  මේ යටතේ 2024 ඔක්තෝබර් මස 29, 30 සහ 31 දිනවල HUTCH ප්‍රධාන අලෙවි සේවා කාර්යාලය වෙත පැමිණි පාරිභෝගිකයන්ට පැළ ලබා දීම සිදුකෙරිණි. පැළ සිටුවීමේ වැදගත්කම පෙන්වා දෙමින්, පරිසරය සුරැකීම සඳහා තම කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයන් යොමු කරවීම මෙහි අරමුණ විය.

මෙම වැඩසටහනේ තේමාව වූයේ “Our Land. Our Future. We are #GenerationRestoration” යන්නයි. මෙය පරිසරය සුරැකීමට සක්‍රීයව දායක වන අතරම තම එදිනෙදා ජීවිත තුළ තිරසාර පුරුදුවලට යොමුවීම සඳහා HUTCH කාර්ය මණ්ඩලය දිරිගැන්වූ වැඩසටහනක් විය. තම සාමාජික සාමාජිකාවන් තුළ පරිසර හිතකාමී ආකල්ප ඇතිකරවීම තුළින් රාජකාරි සීමාවෙන් නොනැවතී පෞද්ගලික ජීවිතවලදීද තිරසාරත්වය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් පෙළඹෙනු ඇතැයි HUTCH විශ්වාස කරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්කවලට සමගාමී වැඩසටහන් ක්‍රියාවට නැංවීමට HUTCH සෑම විටම උත්සාහ කරන අතර, මෙම වැඩසටහන එම ඉලක්ක අතර 15 වන ඉලක්කය වන ‘ගොඩබිම මත ජීවය’ යන්නට සමගාමී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ. 

මෙම වැඩසටහනට අමතරව HUTCH විසින් පරිසරයේ යහපත උදෙසා තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. රුක් රෝපණ වැඩසටහන් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. පරිසර සංරක්ෂණය යනු හුදෙක් ආයතනික ප්‍රජා සත්කාරයන්ට සීමා විය යුතු දෙයක් නොවන බවත්, සිය සාමාජික සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල් සහ පොදු සමාජය තුළ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම තම යුතුකමක් බවත් HUTCH විශ්වාස කරයි. මෙම පැළ බෙදා දීමේ වැඩසටහන, ලෝක තිරසාර දිනයට සමගාමීව පවත්වන ලද දැනුවත් කිරීමේ සැසි, රුක් රෝපණ වැඩසටහන් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදිය ඇතුළත් වැඩසටහන් මාලාවක එක් පියවරකි. මෙවැනි වැඩසටහන් ඔස්සේ දිගින් දිගටම, වඩාත් පරිසර හිතකාමී හෙට දිනයක් උදෙසා තිරසාර ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමට HUTCH කැප වී සිටී. 

HUTCH Sri Lanka පිළිබඳව 

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය. 

1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත. 

රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. 


Share with your friend