අඛණ්ඩව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන Microsoft Imagine Cup Junior 2023 තරඟය සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන් සඳහා විවෘත මෙම තරඟය, ඔවුන්ට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම පුළුල් කරගැනීමටත්, නවීන තාක්ෂණය භාවිත කරමින ලෝකය මුහුණ දෙන බරපතළ ගැටලුවලට විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනකි.
AI for Earth, AI for Health, AI for Accessibility, AI for Humanitarian Action සහ AI for Cultural Heritage යන කාණ්ඩ 5 යටතේ තරගයට ඉදිරිපත් විය හැකි අතර, තරගකරුවන්ට Microsoft සමාගමේ විශේෂඥයන්ගේ මගපෙන්වීම හිමිවනු ඇත. අයදුම්පත් භාරගැනීම 2023 මැයි 10 වන දිනෙන් අවසන් වේ.
මේ සම්බන්ධයෙන් දිවයිනේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට Microsoft සමාගම පසුගියදා කටයුතු කළේ ය. එම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වූ අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු තවත් නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.
Imagine Cup Junior යනු, දශක දෙකකට අධික කාලයක් තිස්සේ ලොව පුරා සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම තාක්ෂණ තරඟයක් වන Microsoft Imagine Cup හි කනිෂ්ඨ තරගයයි. මෙම තරගය, සිසු සිසුවියන්ට තම ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කරගැනීමටත්, දේශීය හා ජාත්‍යන්තර ගැටලු සඳහා ඵලදායී විසඳුම් නිර්මාණය කිරීමටත් අවස්ථාව සලසා දෙන සුවිශේෂී තරඟයකි. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) වැනි නවීන තාක්ෂණයන් හඳුනා ගැනීම සඳහා සිසු සිසුවියන්ට මහඟු වේදිකාවක් වන Imagine Cup Junior තරඟය, තාක්ෂණික ප්‍රවීණතාව පිළිබඳ ගැටලුවකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි ආකාරයට සැලසුම් කර ඇත.
“ඉක්මනින් වෙනස් වන සහ අධික වේගයකින් නව දැනුම හා තොරතුරු බිහිවන වර්තමාන ලෝකය සමග ඉදිරියට යාමට නම් අප බෙහෙවින් කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතුයි. ඒ සඳහා නිවැරදි අධ්‍යාපනය, තාක්ෂණය සහ කුසලතා අපගේ අනාගත පරපුර වෙත ලබාදීම අතිශයින් වැදගත්. මේ වනවිට ගුරුවරුන්ගේ දැනුම වැඩිදියුණු කිරීමටත්, සිසු සිසුවියන්ගේ යහපත වෙනුවෙන්, පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමටත් අප විවිධ වැඩසටහන් හඳුන්වා දෙමින් සිටිනවා. මේ උත්සාහය තුළදී, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීනතම තාක්ෂණයන් අපගේ ගුරුවරුන් හා සිසුන් වෙත හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. Microsoft විසින් දියත් කරන Imagine Cup Junior 2023 වැනි තරඟ, අපගේ ගුරුවරුන්ට සහ සිසුන්ට නව දැනුම ග්‍රහණය කර ගැනීමටත්, අනාගතයට ගැළපෙන පුරවැසියන් බවට පත්වීමටත් අගනා ගෝලීය වේදිකාවක් නිර්මාණය කරනවා.” යැයි මෙහිදී අදහස් දක්වමින් ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
(ඡායාරූපය: ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා Imagine Cup Junior 2023 ආරම්භය නිවේදනය කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින්)
“අද දවසේ සිසු සිසුවියන් යනු හෙට දවසේ වෙනසක පෙරගමන්කරුවන්. ලොව පුරා ජනතාව, ප්‍රදේශ සහ පෘථිවිය මුහුණ දෙන බරපතළ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නවීනතම තාක්ෂණයන් භාවිතා කරන ආදර්ශමත් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ඔස්සේ අපගේ ලෝකය හැඩගැස්වීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය පුහුණුව හා මගපෙන්වීම ලබාදීමට Microsoft විශේෂඥයන් සූදානම්. සමාන ආකල්ප සහිත දරු දැරියන් සමග එක්ව කටයුතු කරමින්, එම දරු දැරියන්ගේ අනාගතයට වැදගත් වන කුසලතා වර්ධනය කරවීම ඔවුන්ගේ ඉලක්කයයි.” Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව -නව වෙළඳපොළවල්) Sook Hoon Cheah පැවසී ය.
(ඡායාරූපය: තරඟය පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කරන Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව – නව වෙළඳපොළවල්) Sook Hoon Cheah මහත්මිය)
“Imagine Cup Junior ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, අපේ රටේ සිසු සිසුවියන්ට AI තාක්ෂණය ඔස්සේ තම දක්ෂතා එළිදැක්වීමට අවස්ථා සලසා දීමට හැකි වීම අපට මහත් සතුටක්. වයස අවුරුදු 13 ත් 18 ත් අතර කාලයේදී දරුවන් සම්මතයන් ප්‍රශ්න කරමින්, තමන්ට සමීප දේවල් වඩාත් යහපත් කිරීමට උත්සාහ දරනවා. Imagine Cup Junior ඔස්සේ AI තාක්ෂණය සහ Microsoft මෙවලම් පිළිබඳව දැනුවත් වීම මගින් මේ සිසු සිසුවියන්ට තම කුසලතා තවදුරටත් දියුණු කරගැනීමට අගනා අවස්ථාවක් ලැබේවි. එය අනාගතය වෙනුවෙන් ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට මහෝපකාරී වනු ඇති බවට සැකයක් නැහැ.” Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.
ඡායාරූපය: Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා Imagine Cup Junior තරග කාණ්ඩ පැහැදිලි කරමින්
Microsoft Imagine Cup Junior තරගයේ ජාත්‍යන්තර ජයග්‍රාහකයන් 10 දෙනා කවුරුන්ද යන්න 2023 ජූනි 07 දින නිවේදනය කෙරෙනු ඇත. තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: Imagine Cup Junior 2023 | Imagine Cup (microsoft.com).